February 13, 2024

ශ්‍රී ලංකාව බංකොළොත්භාවයට පත්කරන ලද්දේ රටේ ජනතාව බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවැසීය.

එලෙස බංකොලොත් කරන ලද රට ගොඩගැනීමට සිදුව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බවද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

ජනමාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඔහු එහිදී මෙසේද පැවැසීය.

“පැහැදිලිවම රටේ නායකයා වන ජනාධිපතිතුමා කිව්වා, අපට තිත්ත බෙහෙත් බොන්න වෙයි, අවාසි සහගත අමාරු තීන්දු තීරණ ගන්න වෙනවා කියලා. දැන් මේ අමාරු තීන්දු අරගෙන තමයි මේක හදාගෙන යන්නේ. එතකොට මේ බංකොලොත් වෙච්ච රට මේ මට්ටමට ගෙනැල්ලා රුපියල් දහදාහකින් පඩි වැඩිකරලා තියෙනවා. ඒ වැඩි කරල තියෙන වෙලාවේ තවත් විවිධ දීමනා ඉල්ල ඉල්ල විප්ලව කරන එකද, මේකෙන් ගොඩ යාම සඳහා උදව් වන එකද කියලා තීරණය කරන්න ඕනේ ඒ නිලධාරී මහත්ම මහත්මීන්. අපි ඔක්කොටම අමාරුයි. ඔබට විතරක් නෙමෙයි, අපිටත් අමාරුයි. තෙල් ගහන එකට අපිත් ගෙවනවා. කැරට් කිලෝ එක රුපියල් දාහකට යනකොට අපිත් ඒ මුදල ගෙවන්න ඕනෙ. අපි ඔක්කොටම ඒක දරන්න වෙලා තියෙනවා. මේක රනිල් වික්‍රමසිංහ කරපු එකක් ද? මේක UNP එක කරපු එකක් ද? මේ ඔක්කොම කළේ ජනතාව. UNP එක බංකොලොත් කළෙත් ජනතාව. ආපහු රට ගොඩ දාන්න වෙලා තියෙන්නේත් UNP එකට. ඉතිං UNP එක ඒ වගකීම බාර අරගෙන ඒක ක්‍රියාත්මක කරනවා. ඉතින් මේකට උදව්වක්නේ වෙන්න ඕනේ. නැවතත් මේක බංකලොත් කරන්නද යන්න හදන්නේ.

මෙතන වර්ජනය කරන සියලුදෙනාම වෙනත් පක්ෂයකට කතිරය ගහන්න යන්නේ නෑ. රටේ ජනතාවත්, සියලු දෙනා ගිහිල්ලා වර්ජනය කෙරුවා කියල වෙනත් පක්ෂවලට කතිරේ ගහන්න යන්නේ නෑ. රටේ ජනතාව දැන් අවබෝධ කරගෙන තියෙනවා අද සිදුකරන වර්ජන, උද්ඝෝෂණවල තියෙන සාධාරණත්වය අසාධාරණත්වය මොකක්ද කියලා. සජබේ දෙතුන් දාහක් ගෙනැල්ලා උද්ඝෝෂණයක් කෙරුවම, කඳුළු ගෑස් දාපුවහමයි, පොලිසිය පාවිච්චි කරහම ජනතාවගේ කිසිම අනුකම්පාවක් ඇතිවුණේ නැහැ. අමාරුවෙන් මේ රට ගොඩගද්දී ඒක කඩාකප්පල් කරන, කාබාසිනය කරන කාලකන්නින්ට ඔහොම කරල මදි. පොලිසිය නෙමෙයි හමුදාව දාලා එළවන්න ඕන කියන මතයෙ තමයි මහජනතාව ඉන්නේ.”

42.31%
17.27%
32.76%