December 21, 2023

සංශෝධිත මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ලබන වසරේ ජනවාරි මස අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහට උපදෙස් දී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සංශෝධිත පනත් කෙටුම්පත 2023 නොවැම්බර් 07 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයන්ට අනුකූල වන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තාක්ෂණික සමාගම්වල අදහස් විමසීමට මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් ගත් තීරණයෙන් පසුව අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක ඇතුළු දූත පිරිසක් සිංගප්පූරුවට ගොස් නීති කෙටුම්පත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සමාගම් සමඟ සාකච්ඡා පවත්වා තිබිණි.

Asia Internet Coalition නම් තාක්ෂණික කර්මාන්ත සාමූහිකය අමාත්‍යංශ නියෝජිත පිරිස සඳහා මෙම රැස්වීම් වෙනුවෙන් පහසුකම් සපයන ලදී.

ලැබී ඇති දත්තවලට අනුව,එම සාමූහිකය සිය සාමාජික සමාගම්වල අදහස් විමසීමෙන් පසු ජනවාරි මස මුල වන විට පනත් කෙටුම්පත සඳහා සවිස්තරාත්මක යෙදවුම් ලබාදීමට එකඟ වී ඇත.

සිවිල් සමාජ නියෝජිතයන් සහ මාධ්‍ය විශේෂඥයන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා එකඟ වී තිබුණේ නීතිය සංශෝධනය කිරීමේදී උපදේශන ක්‍රියාවලියක් අනුගමනය කිරීමටයි.

පසුව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී ඇමැතිවරයා අන්තර්ජාතික යෙදවුම් හරහා පනත් කෙටුම්පත තවදුරටත් ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ සහාය ඉල්ලා තිබිණි.

කෙසේවෙතත්, පනත් කෙටුම්පත තවදුරටත් ප්‍රමාද නොකර එම ක්‍රියාවලිය කඩිනම් කර ලබන වසරේ ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා පසුගිය සතියේ මහාචාර්ය මාරසිංහට උපදෙස් දී තිබේ.

42.31%
17.27%
32.76%