February 1, 2024

අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට දැඩි තර්ජනයක් එල්ල කරන බව ‘මාර්තු 12 ව්‍යාපාරය’ නිවේදනයක් නිකුත් කරමින් යළිත් අවධාරණය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ වත්මන් රජය මෙම නීති සම්පාදනය සඳහා දැඩි ලෙස ක්‍රියා කිරීම කණගාටුවට කරුණක් බවත් මෙය ඉදිරි මැතිවරණ කාලය තුළ විරුද්ධ මතවාද නිශ්ශබ්ද කිරීමට සහ සිවිල් ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙස සැළකිය හැකි බවයි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියක් හඳුන්වා දීමට අමතරව, නීති සම්පාදනය කිරීමට පෙර අධිකරණ සමාලෝචනයට ව්‍යවස්ථාපිතව සහතික කර ඇති අයිතිය උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව කෝපයෙන් ක්‍රියා කළ බව මාර්තු 12 ව්‍යාපාරය විසින් දැඩි කනස්සල්ලෙන් යුතුව සටහන් කරන බවද එම නිවේදනයේ දැක්වේ.

අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය තක්සේරු කිරීම සඳහා පුරවැසියන් සහ ආයතන කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම ඉල්ලා සිටි බවත් පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර සංශෝධන අවශ්‍ය නිශ්චිත වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය හඳුනාගෙන තිබූ බවත් මාර්තු 12 ව්‍යාපාරය පෙන්වා දෙයි.

කෙසේවෙතත්, මේ වන විට නැඟී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමේදී, පනත් කෙටුම්පත සම්මත කිරීමේදී අධිකරණයේ නිර්දේශවල දක්වා ඇති තීරණාත්මක සංශෝධන නොසළකා හැර ඇති බව අනාවරණය බව ඔවුන්ගේ අදහස වී තිබේ.

රජය ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත සහ විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත වැනි තවත් කුරිරු නීති ක්‍රියාත්මක කරමින් ජනතාව සහ විරුද්ධ බලවේග නිහඬ කිරීමට සහ පීඩාවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවට ද මාර්තු 12 ව්‍යාපාරය චෝදනා කරයි.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ පාලනය කරගත නොහැකි කුසගින්න මධ්‍යයේ පුරවැසියන් නිහඬව දුක් විඳිද්දී, මේ නිහඬ බව කීකරුකමට සමාන නොවන බව පාලකයන් විසින් හඳුනා ගැනීම අතිශය වැදගත් බව පවසන මාර්තු 12 ව්‍යාපාරය අනතුරු අඟවන්නේ, එය ආණ්ඩුවේ බලහත්කාර පාලනයට එරෙහි විශාල පසුබෑමක පෙර නිමිත්තක් වනු ඇති බවයි.

මෙම තත්ත්වයන් සැළකිල්ලට ගනිමින්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දක්වා ඇති සංශෝධන අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට සම්පූර්ණයෙන්ම ඇතුළත් කර ඇති බව සහතික කරන ලෙස මාර්තු 12 ව්‍යාපාරය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.

 

42.31%
17.27%
32.76%