43.4%
15.4%
30.9%
September 9, 2023

වසර හතරකට පසු මෙරට උසස් පෙළ සමත් සිසුන් සංඛ්‍යාව සියයට 63කින් ඉහළ ගොස් ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් පවසයි.

පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය වැනි හේතු නිසා උසස් අධ්‍යාපනය යම් පසුබෑමකට ලක්ව ඇති බව රාජ්‍ය ඇමැතිවරයා පෙන්වදෙයි.

ජනාධිපති මාධ්‍ය අංශයේ ඊයේ (08) පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් සුදුසුකම් ලත් සියලුම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට තරම් භෞතික සම්පත් ප්‍රමාණවත් නොවන බව ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම ලෝක ප්‍රමිතීන්ට අනුව විශ්වවිද්‍යාලයක සිසුන් 15 දෙනෙක්ට එක් ආචාර්යවරයෙක් සිටිය යුතු වුවද, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල සෑම සිසුන් 30කටම සිටින්නේ එක් කථිකාචාර්යවරයෙක් පමණක් යැයි ඔහු පවසයි.

මේ අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් බහුතරයක් කලා විෂය ධාරාවෙන් පෙනී සිටින බවත්, උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා දෙන දිවයිනේ පාසල් 3,000න් 2,100කට ඇත්තේ කලා විෂය ධාරාව පමණක් වීම ඊට හේතුව බවත්, ඔහු පෙන්වාදෙයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ කලා විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට විද්‍යාවේදී උපාධියක් ලබාගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට අවධානය යොමු කර ඇති බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

43.4%
15.4%
30.9%