December 10, 2023

ගැසට් කරන ලද ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සුළු වැරදි හේතුවෙන් නැවත ගැසට් කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත පවසා ඇත.

ශ්‍රී ලංකා විදුලිබල නව පනත් කෙටුම්පත සකස්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධ බව යළිත් අවධාරණය කළ ඔහු, හඳුනාගත් දෝෂ ඉදිරි ගැසට් පත්‍රය මගින් නිවැරදි කරන බවට සහතික වී තිබේ.

ගැසට් නිවේදනය නිකුත් කරන දිනය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තුවේදී කණස්සල්ල පළකර තිබේ.

එම ගැසට් පත්‍රයේ සඳහන් දිනය දෙසැම්බර් 05 වුවද එය වෙබ් අඩවියට ඇතුළත් කර ඇත්තේ දෙසැම්බර් 08 වැනිදා බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද දින වකවානුවල විෂමතාව නිසා ගැසට් පත්‍රය සමාලෝචනය කිරීමට සහ අධිකරණය හමුවේ අභියෝග කිරීමට මහජනතාවට ඇති හැකියාව සීමා වනු ඇතැයි කණස්සල්ල පළ කළේය.

දිසානායක අවධාරණය කළේ, ගැසට්කර දින හතකට වඩා වැඩි කාලයකට පසුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් පනත් කෙටුම්පත අධිකරණයේ අභියෝගයට ලක් කිරීමේ කාලය සීමා වන බවයි.

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගැසට් පත්‍රයේ 06 වැනි පිටුවේ දෝෂ මතුකරමින් අවධාරණය කළේ අපැහැදිලි තත්ත්වයක සිංහල පිටපත පවතින බැවින් ගැසට් පත්‍රය නැවත ප්‍රකාශයට පත්කළ යුතු බවයි.

මේ අතර, පනත් කෙටුම්පත ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සිකුරාදා (08) නිවේදනය කළේය.

“අපි ජනවාරි මාසයේ පනත ඉදිරිපත් කරනවා. ඒ නිසා ඕනෑම කෙනකුට පෙත්සම් ගොනුකරන්න කාලයක් ලැබෙනවා. පනත් කෙටුම්පත සකස් කිරීමට පත්කළ කමිටුව මන්ත්‍රීවරුන්ගේ මතය විමසීමට රැස්වීමක් පැවැත්වුවා. එම රැස්වීමට සහභාගි වූයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පමණයි. වෘත්තීය සමිති සමඟත් සාකච්ඡා කරලා තියෙනවා,” යැයි ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.(Sunday Morning)

42.31%
17.27%
32.76%