December 24, 2023

මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිසමට ඇති නීතිමය බාධාවක් හේතුවෙන්, ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා යළි අධිකරණය වෙත යොමුවීමට නියමිතය.

2010 වසරේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකුට වධහිංසා පමුණුවා මූලික අයිතිවාසිකම් කඩකළ නිලධාරීන් හතරදෙනාගෙන් එක්අයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දේශබන්දු තෙන්නකෝන් පසුගියදා නම් කරන ලදී.

පෙත්සම්කරු සහ නම්කර ඇති නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කළේය.

ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මාස තුනකට පත්කර ඇති හෙයින් ඔහුට එරෙහිව එවැනි ක්‍රියාමාර්ග ගැනීමේදී ජාතික පොලිස් කොමිසම නීතිමය ගැටුමකට මුහුණ දී ඇති බව ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී (1) වගන්තියට අනුව, ජනාධිපති විසින් කරන ලද නිර්දේශයක් මත ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පමණක් පිරවිය හැකි තනතුරු අතර පොලිස්පති තනතුර ද වේ.

කෙසේවෙතත්, 41C (2) වගන්තිය, මෙම වගන්තියේ උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති ඕනෑම තනතුරක “දින දහහතරකට වැඩි කාලයක් ක්‍රියාකිරීමට පත් කර ඇති” ඕනෑම පුද්ගලයකු සම්බන්ධයෙන් වගන්තියේ (1) ඡේදයේ විධිවිධාන අදාළ වන බව සටහන් කරයි.

ඒ අනුව, වැඩබලන පොලිස්පති තෙන්නකෝන්ගේ පත්වීම මාස තුනකට ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර ඇති හෙයින්, එම පත්කිරීම ස්ථීර ලෙස දැනටමත් සළකනු ලබන්නේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුව තිබේ.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද ජාතික පොලිස් කොමිසමට ලබා දී ඇති වරම අනුව, පොලිස්පතිවරයා හැර අනෙකුත් පොලිස් නිලධාරීන් පත්කිරීම, උසස් කිරීම, ස්ථාන මාරුවීම්, විනය පාලනය සහ සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් පුළුල් බලතල පැවරී ඇත.

තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට නීත්‍යනුකූලව බලය පැවරී තිබේද යන්නත්, එවැනි අධිකාරියක් තමන්ට පවරා නොමැති නම්, කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතුද යන්නත් විමසා ජාතික පොලිස් කොමිසම විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ.

වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට ජාතික පොලිස් කොමිසමට ඇති බලය නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ විධිවිධාන සමඟ කියවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී(3) වගන්තිය මගින් සළකා බලනු ලබන විධිවිධාන සහ ක්‍රියා පටිපාටි ප්‍රකාරව සපයා ඇති බවට නීතිපතිවරයා දැනුම්දී ඇත.

එබැවින්, ජාතික පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට අනුකූලවීමට පියවර ගැනීමේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVIII A පරිච්ඡේදයේ දක්වා ඇති එහි ව්‍යවස්ථාමය වරම සහ නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ දක්වා ඇති අදාළ විධිවිධාන පිළිබඳව දැනුවත් විය යුතු බව ද නීතිපතිවරයා සඳහන් කර ඇත.

ඒ අනුව අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ජාතික පොලිස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දන්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාපටිපාටිය අනුව එම ලිඛිත දැන්වීම වැඩබලන පොලිස්පතිවරයා නම්කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙත යොමුකෙරෙනු ඇත.