January 13, 2024

විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයන් දෙදෙනකු, ගේට්ටුව වසා හිරකර බල්ලන් ලිහා දමන බවට බියවද්දා, විදුලි සැපයුම විසන්ධි කිරීමට බාධා කළ බව කියන මේජර්වරයකුගේ බිරියක් සහ මේජර්වරයාගේ මිතුරකු මොරොන්තුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොරොත්තුඩුව නාන්දුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

හමුදා මේජර්වරයා, ඔහුගේ බිරිය සහ ඇයගේ මව පදිංචි නිවස පිහිටි ඉඩමෙහිම බිරියගේ සහෝදරියකගේ නිවෙස ද පිහිටා ඇති අතර, ඒ සහෝදරිය ජපානයේ පදිංචිව සිටින බව සඳහන් වේ.

විදුලි සේවකයන් සිවුදෙනෙකු පෙරේදා (11) දහවල් 01ට පමණ ජපානයේ පදිංචි බව කියන කාන්තාවගේ නිවෙසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණ ඇත.

ඇයගේ මව ගේට්ටුව විවෘත කළ පසු විදුලි සේවකයන් දෙදෙනෙකු ඇතුළු වී ඇති බවත්, අනෙක් දෙදෙනා ඔවුන් පැමිණි වැන් රථයේම සිට ඇති බවත් පැවැසේ.

විදුලිය විසන්ධි කිරීම දැනුම් දී පැමිණෙන අතරවාරයේ විදුලි සේවකයන් යාබද පිහිටි සහෝදරියගේ නිවෙසෙහි විදුලිය විසන්ධි කර ඇත.

ඒ අවස්ථාවේදී, ඇය ජපානයේ සහෝදරියට දුරකථන ඇමතුමක් දී විමසීමේ දී ඇය බිල්පත ගෙවූ ලදුපත වට්ස්ඇප් මගින් නැගණියගේ ජංගම දුරකතනයට යොමුකර ඇති බවත්, ඇය එය විදුලි සේවකයන්ට පෙන්වීමට උත්සාහ කළත්, ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබූ බව පොලිසිය කියයි.

එහිදී උරණ වූ මේජර්වරයාගේ බිරිද ගේට්ටුව වසා ඉබි යතුරු දමා, නිවසේ ඇති කරන සැර බල්ලා ලිහා දමන බවට තර්ජනය කර, විසන්ධි කර තිබූ විදුලි සැපයුම යළිත් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව පොලිසිය කීය.

ඒ අතර, ඇය මේජර්වරයාගේ මිතුරෙකුට දුරකථන ඇමතුමක් දී ඔහු ද ස්ථානයට ගෙන්වා ගෙන ඇති අතර, ඔහු සිය ජිප් රථය විදුලි සේවකයන් පැමිණි වැන් රථයට අවහිර වන සේ නතර කර සිට ඇති බව ද සඳහන් වේ.

වැන් රථයේ සිටි විදුලි සේවකයකු මේ බව කාර්යාලයට දැනුම් දී ඇති අතර, ඔවුන් මොරොත්තුඩුව පොලිසියට කළ දැනුම් දීමකින් පසු ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරින් පිරිසක් නිවස වෙත පිටත්කර යවා ඇත.

පොලිස් නිලධාරීන් නිවෙසට ගොස් ගේට්ටුව විවෘත කරන ලෙස දන්වා ඇති අතර, එය විවෘත කිරීම ද නිවැසියන් පළමුව ප්‍රතික්ෂේප කර ඇති බවත්, ගේට්ටුව කඩා නීතිය ක්‍රියාත්මක කරන බව දැනුම් දීමෙන් පසු එය විවෘත කර ඇති බවත් පොලිසිය පවසයි.

ඒ අනුව, විදුලි සේවකයන් දෙදෙනා බේරාගත් බවත්, ඔවුන් දෙදෙනා නිවෙසේ බල්ලා ලිහා දමාවී යන බියෙන් සිට ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

විදුලි බිල ගෙවා ඇති බව සැකකරුවන් ප්‍රකාශ කරන අතර, බිල ගෙවා නොමැති බව විදුලි ආයතනය පවසන බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන, පොලිස් ඇපමත මුදාහැර ඇති අතර, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි(ලංකාදීප)

42.31%
17.27%
32.76%