February 3, 2025

ශ්‍රී ලංකාවේ පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වන ඓතිහාසික ගාලු කොටුව තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව වාර්තා වේ.

ඒ, එම තැපැල් කාර්යාලය ගරාවැටෙමින් ඇති බවට දිගින් දිගටම පළවූ වාර්තාවලින් අනතුරුවය.

ලන්දේසි යටත් විජිත සමයේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල නඩත්තු නොකිරීම සහ සංරක්ෂණය නොකිරීම හේතුවෙන් දැඩි ලෙස හානියකට ලක්ව තිබේ.

පසුගියදා එම ස්ථානය නිරීක්ෂණය කළ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා ඇත්තේ, ඓතිහාසික මෙන්ම වාස්තු විද්‍යාත්මක වැදගත්කමක් ඇති ගොඩනැගිල්ලක් නොසළකා හැරීම පිළිබඳව කණගාටු වන බවයි.

එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා එහිදී ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

මුද්දර, වෙසක් සුබපැතුම් පත් මුද්‍රණ පහසුකම් වැනි නව සේවාවන් හඳුන්වාදීම සඳහා සැලැස්මක් සකස් කරන ලෙස ද ඔහු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

දකුණු පළාතේ සංචාරක ප්‍රදේශවල පිහිටි තැපැල් කාර්යාල ආකර්ෂණීය ස්ථාන ලෙස වැඩිදියුණු කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

අමාත්‍යවරයා සමඟ ප්‍රාදේශීය නියෝජිතයන්, තැපැල් නිලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද එම නිරීක්ෂණ චාරිකාවට එක්ව තිබේ.

42.31%
17.27%
32.76%