March 8, 2024

මෙරට අයාලේ යන සුනඛ ගහණය සම්බන්ධයෙන් ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පදනම් විරහිත බවත්, රාජ්‍ය ඇමැතිවරයා මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ ඒ පිළිබඳ නිවැරදි දත්ත සන්තකයේ නොමැතිව බවත් සත්ත්ව ගහණය කළමනාකරණය පිළිබඳ මානව හිතවාදී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ උපදේශක වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල අයාලේ යන සුනඛයන් ලක්ෂ 62ක් පමණ සැරිසරන බවත්, මේ තත්ත්වය සීගිරිය වැනි සංචාරක ප්‍රදේශවලට බරපතළ ගැටලු ඇති කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මීට පෙර මෙරට වඳුරු ගහණය සම්බන්ධයෙන් ද වැරදි ප්‍රකාශ ප්‍රචාරය කළ බවත්, වැරදි සංඛ්‍යා සඳහන් කරමින් රටේ වඳුරන් මිලියන තුනක් සිටින බවට ප්‍රජාව තුළ සාවද්‍ය මතයක් ගොඩනැගීමට හේතු වූ බවත් චමිත් නානායක්කාර සඳහන් කරයි.

“පසුගිය වසර 24ක කාලයක සිට පශු වෛද්‍යවරුන් ලෙස අපි මෙම සුනඛ ගහණය සමඟ සම්බන්ධ වී සිටිනවා. 2007 වන විට මෙරට සුනඛයන් මිලියන තුනක් පමණ සිටියා. පසුව රජය මගින් මෙන්ම සත්ව සුබසාධන සංගම් මගින් සුනඛ ගහණය පාලනය කිරීමේ වන්ධ්‍යාකරණ සැත්කම් වැඩසටහන් ක්‍රියාත්මක කළා” ඔහු ප්‍රකාශ කරයි.

මෙම වැඩසටහන් හේතුවෙන් දැනට මෙරට සිටින සුනඛ ගහණය ලක්ෂ 21කටත් වඩා අඩු බව ද ඔහු පවසයි.

“ඒත් රටේ අයාලේ යන සුනඛයෝ ලක්ෂ 62ක් ඉන්නවා කියලා ඇමැතිවරයා කිව්වා. ඒත් රටේ අයාලේ යන සුනඛයෝ අඩුයි. ඇතැම් සුනඛයෝ අයාලේ යන සුනඛයෝ හැටියට සැළකුවත් නිදහසේ ජීවත් වුණත් ගොඩක් උන්ට අයිතිකාරයෝ හිටියා. සාමාන්‍යයෙන් ආගමික සිද්ධස්ථාන, ත්‍රිරෝද රථ උද්‍යාන සහ සාප්පු අසල ජීවත් වන සමහර සුනඛයන් ඉන්නවා, උන් ප්‍රජා සුනඛයන් ලෙස සළකන්නේ” වෛද්‍ය නානායක්කාර පෙන්වාදෙයි.

“අපගේ ගණනය කිරීම්වලට අනුව, රට තුළ සුනඛ ගහණය මිලියන 2.1ක් සිටිනවා. ඔවුන්ගෙන් සියයට තුනක් අයාලේ යන සුනඛයන් ලෙස සැළකිය හැකියි” යනුවෙන් ඔහු පවසයි.

එබැවින් රාජ්‍ය ඇමැතිවරයා අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බවත්, එය රටේ පවතින බලු ගහණයේ ජීවිතවලට තර්ජනයක් වී ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.

“සීගිරිය වගේ සංචාරක ප්‍රදේශවල විශාල බලු ගහණය බරපතළ ප්‍රශ්න ඇති කරන තත්ත්වයක් බවට පත්ව ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා. සීගිරිය කියන්නේ පසුගිය වසර හයක කාලය තුළ ක්‍රමානුකූලව සුනඛ ගහණය පාලනය කර එන්නත් ලබාදුන් ස්ථානයක්. කිසිවක් නොදැන බලු මර්දන වැඩසටහන් ගැන පාර්ලිමේන්තුවේ මෙවැනි ප්‍රකාශ කිරීම නුසුදුසුයි,” යනුවෙන් හෙතෙම සඳහන් කරයි.

“සුනඛ ගහණය පාලනය කිරීමට සහ වඳ සැත්කම් වැඩසටහන් කරගෙන යෑමට රුපියල් මිලියන 200ක් වෙන් කළා. නමුත් වඳ සැත්කම් වැඩසටහන් කරගෙන යෑමට අවශ්‍ය උපකරණ සඳහා මේ වසරේ දිස්ත්‍රික්කවලට මුදල් ලැබී නැහැ” යැයි ද ඔහු පවසයි.

බොහෝ සත්ව සුභසාධන සංවිධාන විසින් වාර්ෂිකව මෙරට සතුන් 35,000ත් 40,000ත් අතර සංඛ්‍යාවකට වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකර තිබේ.

වෛද්‍ය නානායක්කාර පවසන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශට අනුයුක්ත ඇතැම් නිලධාරීන් මෙම සංවිධානවලට සම්බන්ධවීමට පවා එකඟ නොවූ බවයි.