August 23, 2023

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෛද්‍ය රුහුල් හක්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව හරහා නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෛද්‍ය රුහුල් හක් මෙම කාරණය ආවරණය කරන ජනමාධ්‍යවේදීන් හඳුන්වා ඇත්තේ “පළිගැනීමක් පසුපස හඹා යන කුණු හොයන පිස්සන්ට” සමාන බව පවසමිනි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි වෘත්තීය චර්යා කමිටුව විසින් 2022 දෙසැම්බර් 20 දින සිට මාස අටක කාලයක් සඳහා වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වීමෙන් ඔහුට ලබා දී ඇති අයිතිවාසිකම් සහ වරප්‍රසාද අත්හිටුවා තිබියදීත්, ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් ලෙස දිගටම කටයුතු කර පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති බව හෙළි වීමත් සමඟ මේ පිළිබඳව පසුගිය සති කිහිපය පුරා ආන්දෝලනයට තුඩුදුන්නේය.

මෙම පසුබිම යටතේ අගෝස්තු 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඔහුට එරෙහිව අදාළ විමර්ශන අවසන් වන තුරු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අනිවාර්ය නිවාඩු යවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පසුගියදා සඳහන් කර තිබිණි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ වනවිට, මේ සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් සිටින බවත්, එම ක්‍රියාදාමයෙන් අනතුරුව අත්හිටුවීම දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කරයි.

තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නේදැයි විමසීමට වෛද්‍යවරයා සම්බන්ධ කර ගත් අවස්ථාවේ ඔහු ජනමාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වා ඇත්තේ, “ඔබ සැමට ප්‍රවෘත්ති සඳහා ආවරණය කිරීමට වෙනත් ප්‍රශ්නයක් නැද්ද? ඔයාලා ඔක්කොම අනුන්ගේ කුණු හොයන පිස්සන්. ගිහින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හරි SLMC එකෙන් හරි අත්හිටුවීම ගැන අහන්න.” ලෙසටය.