December 18, 2023

1993 මුම්බායි බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස අවශ්‍යව සිටි කුප්‍රකට ඉන්දීය පාතාල නායක දාවුඩ් ඊබ්‍රහිම් විෂ ශරීරගතවීමක් හේතුවෙන් පාකිස්ථානයේ කරච්චි නුවර රෝහලකට ඇතුළත්කර ඇතැයි වාර්තා වේ.

මෙම පුවතත් සමග ඉන්දීය බලධාරීන් ඔහු පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටින අතර පාකිස්ථානය ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශකර නැත.

කරච්චිහි ධනවතුන් වාසය කරන ක්ලිෆ්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටින බවට විශ්වාස කෙරෙන ඊබ්‍රහිම් දින දෙකකට පෙර දැඩි ආරක්‍ෂාවක් යටතේ රෝහලකට ඇතුළත් කළ බව වාර්තා වේ.

පාකිස්ථාන බලධාරීන් තවමත් ඔහුගේ පැමිණීම පිළිගෙන හෝ තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීමක් කර නොමැති බැවින් ඔහුගේ අසනීපයේ ස්වභාවය සහ ඔහු රෝහල්ගත කිරීමට හේතුව අභිරහසක්ව පවතී.

ඔහු ඇතුළත්කර ඇති මහලේ සිටින එකම රෝගියා ඊබ්‍රහිම් බවත් එම මහල සඳහා ප්‍රවේශය ජ්‍යෙෂ්ඨ රෝහල් නිලධාරීන්ට සහ ඔහුගේ සමීපතම පවුලේ අයට පමණක් සීමා වී ඇති බවත් වාර්තා වේ.

මෙම ඉහළ ආරක්‍ෂාව ඔහුගේ බරපතළ තත්ත්වය සහ ඔහු රෝහල්ගත කිරීමට සම්බන්ධ තත්ත්වයන් පිළිබඳ සැකය තවත් වැඩිකර තිබේ.

ඊබ්‍රාහිම් රෝහල්ගත කිරීමේ පුවත ඉන්දියාව සහ පාකිස්ථානය අතර ආතතීන් යළි අවුළුවන අතර ඔහුව පිටුවහල් කිරීම සඳහා වන සිය ඉල්ලීම ඉන්දියාව නැවත අවධාරණය කරයි.

පලාගිය පාතාල නායකයාට රැකවරණය ලබා දෙන බවට ඉන්දීය බලධාරීන් දිගු කලක් තිස්සේ පාකිස්ථානට චෝදනා කරන අතර, පාකිස්ථානය චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

2023 වසරේ ජනවාරි මාසයේදී ඊබ්‍රාහිම්ගේ බෑණනුවන් වන අලිෂා පාකර් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය වෙත හෙළිකළේ ඔහුගේ මාමා නැවත විවාහ වී පාකිස්ථානයේ කරච්චිහි ඔහුගේ පවුලේ අය සමඟ ජීවත් වන බවයි.

මෙම හෙළිදරව්ව ඉබ්‍රාහිම් පාකිස්ථානයේ සිටින බවට ඉන්දියාවේ ප්‍රකාශයන් තවදුරටත් ශක්තිමත් කළේය.

ජීවිත 250කට අධික සංඛ්‍යාවක් බිලිගත් සහ දහස් ගණනකට තුවාල සිදු කළ 1993 මුම්බායි ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන ඊබ්‍රහිම්, ඉන්දියාවට අවශ්‍ය පලාගිය සැකකරුවකු ලෙස තවමත් නම්කර සිටියි.

ඉන්දියාව සහ එක්සත් ජනපදය 2003 වසරේ සිටම ඔහු “ගෝලීය ත්‍රස්තවාදියකු” ලෙස නම් කර ඇත.

ඉන්දීය බලධාරීන් විසින් D-Company ලෙස හඳුන්වන ඊබ්‍රාහිම්ගේ අපරාධ සංවිධානය මත්ද්‍රව්‍ය ජාවාරම, ආයුධ ජාවාරම, ව්‍යාජ මුදල් නෝට්ටු සහ ප්‍රමුඛ පුද්ගලයන්ට එරෙහි ඉලක්කගත ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රසිද්ධය.

ගෝලීය ත්‍රස්ත දර්ශකයේ 10 වන සංස්කරණයට අනුව D-Company තවමත් මුම්බායි නුවරට සැළකිව යුතු බලපෑමක් ඇති කරන අතර අල්-කයිඩා වැනි අන්තර්ජාතික ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යන බව ද හඳුනාගෙන තිබේ.