December 28, 2023

වර්ෂ 1985 සිතියම අනුව පිහිටි ගම්මාන මේ වනවිට වනාන්තරවලට යට වී ඇත්නම්, එම ගම්මාන අහිමි වී සිටින ඇතැම් ජනතාවට පදිංචි වීමට ඉඩ ලබා දී, එහි අයිතිය එම ජනතාවටම ලබාදීමට කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව, උතුර හා නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාවද මේ වනවිට එම අයිතිවාසිකම් ලබාගෙන තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඒ අතරින් ඇතැම් පිරිස්වලට තවම එම භූමිවලට යෑමට අවස්ථාව ලැබී නොමැති අතර, මේ වනවිට එම ගැටළු පිළිබඳ අවධානය යොමුකරමින් කටයුතු කරන බව ද ඔහු පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර ඇත්තේ, බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට ඊයේ (27) එක් වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පවසා ඇත.

”සිංහල ජනතාවට බලපෑ ප්‍රශ්න ගණනාවකට අප මේ වන විට විසදුම් ලබාදී තිබෙන අතර අනෙකුත් ප්‍රශ්නවලටත් විසඳුම් ලබාදෙමින් සිටිනවා. ඒ වගේම අනෙකුත් ජන කොටස්වල ප්‍රශ්න කෙරෙහිත් රජය අවධානය යොමු කර තිබෙනවා. යුද්ධය අවසන් වුවත් ජිනිවාහි මානව හිමිකම් කොමිසම හමුවේ තවමත් නොවිසඳුන ප්‍රශ්න තිබෙනවා. එම ප්‍රශ්න විසඳිමට අවශ්‍ය පියවර රජයක් ලෙස අප ගෙන තිබෙනවා.

ඇතැම් ජනතාවගේ ගම්මාන අහිමි වී තිබෙනවා. එම නිසා මම තීරණය කර තිබෙනවා 1985 සිතියම අනුව ක්‍රියාත්මක වීමට. එම සිතියම අනුව තිබෙන ගම්මාන දැන් වනාන්තරවලට යට වී තිබෙනවා නම් ඒ ගම්මානවල ජනතාවට පදිංචි වීමට ඉඩ ලබා දීමට. ඒ වගේම එහි අයිතිය එම ජනතාවට ලබාදිය යුතුයි. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාවත් දැනටමත් එම අයිතිවාසිකම් ලබාගෙන තිබෙනවා. ඒ අතරින් ඇතැම් පිරිස්වලට තවම එම භූමිවලට යාමට අවස්ථාව ලැබී නැහැ. එම ගැටළු පිළිබඳ අප වෙනම අවධානය යොමු කරමින් කටයුතු කරනවා.”

42.31%
17.27%
32.76%