January 26, 2024

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයකු, අධිකරණයේ සිට කළගෙඩිහේන ප්‍රදේශයට කැදවාගෙන ගොස් නීතිඥවරයකු සහ නීතිඥවරියන් ඇතුළු පස්දෙනකු විසින් දෙනෝහෝදාහක් බලාසිටියදී පහරදීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් ඊයේ (25) පස්වරුවේ ලැබී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි තරුණ නීතිඥවරයකු බව පොලිසිය පවසයි.

පැමිණිලිකාර නීතිඥවරයා කලක සිට ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක යටතේ සේවය කර ඇතැයිද ඔවුන් දෙදෙනා පසුව වෙන්ව රාජකාරි කරමින් සිටියදී, දින කිහිපයකට පෙර ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික ආරවුලක් මත බහින් බස්වීමක් සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

එදිනම දහවල් නීතිඥවරියන් දෙදෙනකු හා එක් නීතිඥවරියකගේ සැමියා කනිෂ්ඨ නීතිඥවරයාගේ නිවසට ගොස් ඔහුගේ පියාටද තර්ජනය කර ඇතැයි ද හෙළි වී තිබේ.

එදිනම සවස කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයේ රාජකාරි කරමින් සිටියදී වෙනත් අධිකරණයක සේවය කරන නීතිඥයකු පැමිණ ඔහුගේ මෝටර් රථයෙන් කැඳවා ගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන්වන බව පොලිසිය කියයි.

ඔහු යෑමට නොහැකි බව කියද්දී කැඳවාගෙන ගිය නීතිඥවරයා පහර කෑමට ලක් වූ කනිෂ්ඨ නීතිඥවරයාගේ පළමු ගුරුවරයා බවද හෙළි වී තිබේ.

කනිෂ්ඨ නීතිඥවරයා නිල කබාය පිටින් එම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සමග කළගෙඩිහේන ප්‍රදේශයට ගමන් කර ඇතැයි ද අදාළ නීතිඥවරියගේ නිවස ආසන්නයේදී තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් හා එක්ව අතින් පයින් පහරදුන් බවද පැමිණිල්ලේ සදහන්ය.

එම මෝටර් රථයෙන් පැමිණි පිරිස අතර ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය ඇතුළු නීතිඥවරියන් කීපදෙනකුද එක් නීතිඥවරියකගේ සැමියාද සිට ඇතැයි ද,ඔවුන් වට කරගෙන පහර දෙද්දී පහර නොදෙන ලෙසට කළ ආයාචනා ගණන් නොගත් බවද පැමිණිලිකාර නීතිඥයා සඳහන් කර ඇත.

පසුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරියගේ නිවසට කැඳවාගෙන ගොස් සමාව ගන්නා ලෙස බල කර ඇතැයිද බියට පත්ව සිටි ඔහු සමාව ගැනීමෙන් අනතුරුවද තවදුරටත් පහර කෑමට ලක්වූ බව සඳහන් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරියගේ පුතකුද තමන්ට පහරදුන් බවද, ආපසු එමින් සිටියදී නීතිඥවරියකගේ සැමියා යළිත් වතාවක් තමාට පහර දුන් බවද කනිෂ්ඨ වූ යෑමට නොහැකි බව කියද්දි කැඳවාගෙන නීතිඥවරයා සඳහන් කර ඇත.

අනතුරුව කනිෂ්ඨ නීතිඥවරයා කැඳවාගෙන ගිය ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ඔහු නැවත අධිකරණය වෙත ගෙනවිත් බස්සවා පිටව ගොස් ඇතැයිද,මේ බව රහසක් වශයෙන් තබා ගෙන සිටි කනිෂ්ඨ නීතිඥවරයා පසුව වෙනත් නීතිඥවරුන්ට සිද්ධිය
පිළිබඳව හෙළිකිරීමෙන් පසුව ප්‍රතිකාර ලබාගැනීම සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත්ව ඇතැයි ද ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටුව පැමිණ පැමිණිල්ල සටහන් කර ඇතැයිද පොලිසිය කියයි.

මෙම සිද්ධියේදී පැහැරගැනීමක් සිදුවී ඇත්ද යන්න අනාවරණය කර ගැනීමටත් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමටත් පරීක්ෂණ පවත්වන බව නිට්ටඹුව පොලිසිය පවසයි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%