March 12, 2024

ඉදිරි මාස හය ඇතුළත ශ්‍රීලංකන් ගුවන් සමාගමට සිය මෙහෙයුම් සහ මූල්‍ය ඒකකවල ප්‍රගතිය පෙන්වීමට නොහැකි වුවහොත් සේවකයන් 6000කගේ පමණ රැකියා අවිනිශ්චිත බව නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ගුවන් සමාගම් පරිපාලනය සහ වෘත්තීය සමිති සමඟ සමාගමේ වත්මන් ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රීලංකන් ගුවන් සේවය වරින්වර මෙහෙයුම් ප්‍රමාද කිරීම හේතුවෙන් දෝෂාරෝපණයට හා පුළුල් විවේචනවලට ලක්විය.

මෙම ප්‍රමාදය නිසා පසුගිය කාලයේ මගීන් අපහසුතාවට පත්වූ අතර සමාගම ද අපහසුතාවට පත්විය.

ගුවන් සමාගමට සිය මෙහෙයුම් කටයුතු කරගෙන යෑමට හැකිවීම සඳහා වාණිජ බැංකු සහ වෙනත් ආයතන කිහිපයකින් ලබාගත් ඩොලර් බිලියන 1.2ක ණයවලින් ඩොලර් මිලියන 510ක් ආපසු ගෙවීමට රජය තීරණය කළ බව ඇමැතිවරයා පැවසීය.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ඉදිරි මාස හය ඇතුළත ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ආකර්ෂණීය මුල්‍ය ශේෂ පත්‍රයක් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ගුවන් සේවයේ අනවශ්‍ය වියදම් කපාහැර, මාස හයක් තුළ වඩා හොඳ මූල්‍ය විනයක් ක්‍රියාත්මක කළ යුතු බවත්, සමාගම් පරිපාලනය සහ වෘත්තීය සමිති එකමුතුව මෙම උත්සාහය සඳහා ක්‍රියා කළ යුතු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට ගුවන් යානා 16ක් මෙහෙයුම් සඳහා භාවිත කරන බවත්, එමගින් දිගු දුර ගමන් වාර 6ක් සහ කෙටි දුර ගුවන් ගමන් 29ක් ක්‍රියාත්මක වන බවත් එම සාකච්ඡාවේදී සමාගමේ බලධාරීන් පෙන්වා දී තිබේ.

මෙම මෙහෙයුම් සඳහා බෙල්ජියමෙන් ගුවන් යානා තුනක් සහ ෆිට් එයාර් සමාගමෙන් තවත් ගුවන් යානාවක් බදු පදනම මත ලබාගෙන ඇති බව ද ඔවුන් සඳහන් කර තිබේ.