42.31%
17.27%
32.76%
October 16, 2023

හමාස් සංවිධානයට එරෙහිව යුද්ධයකට යන බවට ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමත් සමඟ බටහිර ආසියාව සමඟ ශ්‍රී ලංකාව සිදුකරන වෙළෙදාම කෙරෙහි ද බලපෑමක් එල්ල වී තිබේ.

මෙම තත්ත්වය විශේෂයෙන් බලපා ඇත්තේ යළි නැගීසිටීම සඳහා වෙර දරමින් සිටින තේ කර්මාන්තයටය.

පසුගිය වසර කිහිපය තුළ මැදපෙරදිග කලාපයේ ඇතැම් අභ්‍යන්තර ගැටුම් පැවැතියද එය මෙරටට එතරම් බලපෑමක් කිරීමට සමත්ව නොතිබිණි.

එහෙත්, ඊශ්‍රායලයේ යුද වාතාවරණයක් පැනනැගීම සහ එය මේ වනවිට වර්ධනය වන පරිමාණය අනුව ඒ පිළිබඳ වඩාත් අවධානයෙන් සිටිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් ප්‍රකාශ කරයි.

යුද තත්ත්වය සමඟ එම දිශාවට යන නැව් මාර්ගවලට අධිභාර පැනවීමටක් සිදුවිය හැකි බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් අධික පිරිවැය සම්බන්ධ ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

“මෙය ශ්‍රී ලංකාවට තීරණාත්මක කාල පරිච්ඡේදයක්. මන්ද ශීත ඍතුව සඳහා වන මිලදීගැනීම් සිදුවෙමින් පවතින කාලය මෙයයි” යනුවෙන් සභාපතිවරයා පැහැදිලි කරයි.

සැබවින්ම ශ්‍රී ලංකාව මේ වසර ආරම්භ කළේ, කල් ඉකුත් වූ තෙල් බිල්පත් ගෙවීමට අපේක්ෂා කරන ඉරාන – ශ්‍රී ලංකා තෙල් ගනුදෙනුව සඳහා වන තේ අපනයනය ගනුදෙනුවකිනි.

ඉරානය යනු එම කලාපයේ ලංකා තේ සඳහා වන විශාලතම ගැනුම්කරුවන්ගෙන් අයෙකි.

ගල්ෆ් යුද සමයේදීත් ලංකා තේ අපනයනය අතින් අඛණ්ඩව දියුණු වී තිබූ අතර ඒ සඳහා විවිධ විකල්ප මාර්ගවල ගමන් කිරීමට සිදුව තිබිණි.

මේ අතර, පලස්තීනය ලංකා තේ සඳහා ප්‍රමුඛතම ගැනුම්කරුවෙක් වුවද ගාසා තීරයේ ඇති ඔවුන්ගේ වරායන්ට ප්‍රවේශ විය නොහැකි බැවින් ඔවුන්ට තේ අපනයනය කිරීම ගැටළුවක් වීමේ අවදානමක් මතුව තිබේ.

විකල්ප මාර්ග ලෙස ජෝර්දානයෙන් බටහිර ඉවුර හරහා ගොඩබිම් මාර්ග ඔස්සේ අපනයනය කිරීමට සිදුවනු ඇති බැවින් එය පිරිවැය සම්බන්ධයෙන් බලපානු ඇති බවට අපේක්ෂා කෙරේ.

මේ වන විට නැව් මාර්ග කිසිදු අධිභාරයක් පිළිබඳව දැනුම් දී නොමැති නමුත් යුද්ධයක් ඇති වූ විට භාණ්ඩ ප්‍රවාහන රක්ෂණ ගාස්තුව වැඩි වීමට ඉඩ තිබේ.

වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය රොෂාන් රාජදුරෙයි පවසන්නේ, ඊශ්‍රායලයේ ඇති වූ යුද්ධයෙන් මෙරට තේ අපනයනයට ඇති වන බලපෑම තක්සේරු කිරීමට තවම කල් වැඩි නමුත් එමගින් අනිවාර්යයෙන් යම් බලපෑමක් අපේක්ෂා කරන බවය.

“එය තෙල් මිල කෙරෙහි බලපෑමක් ඇති කරන බව පැහැදිලියි. ඉරානය ප්‍රධාන ගැනුම්කරුවන්ගෙන් කෙනෙක් වන බැවින් මිලදී ගැනීමේ රටාව මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා” යනුවෙන් ඔහු පැවසීය.

මේ අතර රට තුළ පනවන ලද ග්ලයිෆොසේට් තහනම නිසා මතු වූ බලපෑම සහ වල් පැලෑටි අධික ලෙස වර්ධනයවීම නිසා බාල වූ වගාව යළි යථාවත් කරගැනීමටත් වසර කිහිපයකට සිට වගාකරුවන් අරගල කරමින් සිටින බවද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරයි.

පොහොර මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් කුඩා වතු හිමියන්ට පොහොර මිලදී ගැනීමට අපහසු වී ඇති බව පෙන්වාදුන් ඔහු, වැඩිදුරටත් සඳහන් කරන්නේ, කුඩා තේ වතු හිමියන්ගේ නිෂ්පාදනය තේ අපනයනයෙන් සියයට 70කට පමණ දායකවන බවයි.

42.31%
17.27%
32.76%