August 3, 2023

ප්‍රධාන වෙළෙඳපොළවල් විසින් අත්විඳිමින් පවතින ආර්ථික අවපාතය හේතුවෙන් මේ වසරේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම, මුළින් පුරෝකථනය කළ ඩොලර් බිලියන 15.93ට වඩා, සියයට 22% කින් එනම් ඩොලර් බිලියන 12.5ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය වසරේ දී මෙරට විවිධ අභියෝග මධ්‍යයේ වුවද ඉහළම අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 13.01ක් වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, ඇඟලුම් අපනයනයට දැඩි බලපෑමක් එල්ල වීමත් සමඟ මෙම වසරේ මෙරට සමස්ත අපනයනය ඩොලර් බිලියන 12 – 12.5 දක්වා පහත වැටෙනු ඇතැයි වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ (02) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ජනමාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මෙම වසර සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 15.93 කට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට ඉලක්ක කර ඇති අතර, එය පසුගිය වසරේ දී ලබාගත් ඩොලර් බිලියන 13.01ට වඩා වැඩි අගයකි.

කෙසේ වෙතත්, මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව, 2023 ජනවාරි සිට ජූනි දක්වා සමුච්චිත අපනයන ඉපැයීම් වසරින් වසර (YoY) ඩොලර් බිලියන 5.87 දක්වා සියයට 10ක අඩුවීමක් වාර්තා කර ඇති අතර, ජූනි මාසයේදී අපනයන ඉපැයීම් සියයට 19.5කින් (YoY) ඩොලර් බිලියන එකකට වඩා අඩු වී ඇත.

යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජනපදයෙහි අඛණ්ඩ ආර්ථික මන්දගාමීත්වය මෙයට මූලික හේතු ලෙස ඇමැතිවරයා සඳහන් කර ඇත.