February 10, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ජීවත්වීමට ප්‍රමාණවත් මුදලක් ඇතිනම් එම මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අනවශ්‍ය බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පෙන්වාදෙයි.

එම පක්ෂය මෙම අදහස් පළකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ යෝජනාවක් සභාගත කිරීමෙන් අනතුරුවය.

“අපට විශ්‍රාම වැටුප් ක්‍රමය අවශ්‍ය නැහැ,” යනුවෙන් ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් පළකරමින් සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක සහ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසා තිබේ.

“කොහොම වුණත්, මෙහිදී මන්ත්‍රීවරුන්ගේ ආදායම සහ අනෙකුත් කොන්දේසි සොයාබැලිය යුත්තේ ඔවුන්ට ජීවත් විය හැකිද යන්න විමසා බැලීම සඳහායි” ඔහු පවසයි.

විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම අත්‍යවශ්‍ය වන්නේ මහජනතාවගේ වියදමින් මන්ත්‍රීවරුන් ප්‍රතිලාභ ලබන බවට ඇති ජනතා හැඟීම නිසා බවත්, එමනිසා විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීමෙන් ජනතා විශ්වාසය යළි ඇති වන බවත් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඉකුත් දා පාර්ලිමේන්තුවේදී අදහස් පළකළේය.

මේ අතර කේ.ටී. චිත්‍රසිරි කමිටුවට අනුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ආනන්ද විජේපාල පවසයි.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව මැති ඇමැතිවරුන්ට මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති දීමනා සහ වරප්‍රසාද පිළිබඳ අධ්‍යයනය කිරීම සහ සමාලෝචනය කිරීම සිදුකරනු ලැබීය.

පාර්ලිමේන්තු වරප්‍රසාද පහත හෙළීම සම්බන්ධයෙන් හේෂා විතානගේ සහ රවී කරුණානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ නිර්දේශ මත ක්‍රියා කිරීමට රජය කැමැත්ත පළ කරන බවද අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.

42.31%
17.27%
32.76%