February 13, 2024

දේශීය සහ විදේශීය ආයතන අතර ඇති සියලුම ගිවිසුම් පරික්ෂා කිරීමට රජය සූදානම් වේ

ජාතික අවශ්‍යතාවලට අනුකූලද යන්න පරීක්ෂා කිරීම සඳහා විදේශීය සහ දේශීය ආයතන අතර අවබෝධතා ගිවිසුම් (MoUs) සමාලෝචනය කිරීම සඳහා රජය විසින් කමිටුවක් පත්කරන ලද බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයකට අනුව, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා ඇත්තේ, විදේශීය සහ දේශීය ආයතන අතර පවතින අවබෝධතා ගිවිසුම්වල ප්‍රමාණවත්භාවය පිළිබඳ වැඩෙන කනස්සල්ලට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බවයි.

“මෙම කමිටුව පත්කිරීමේ මූලික අරමුණ වන්නේ මෙම ගිවිසුම් රටේ යහපතට ගැලපෙන බව සහතික කිරීමයි. මෙම කමිටුව ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ දෙපාර්තමේන්තු ඇතුළු ප්‍රධාන රජයේ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත වේ. මෙම කණ්ඩායම දැනට පවතින අවබෝධතා ගිවිසුම් පරීක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ විවිධ විශේෂඥතාවන් භාවිත කරනු ඇත. සියලුම අවබෝධතා ගිවිසුම් සමාලෝචනය කිරීමට අපි සැලසුම් කර තිබෙනවා” යැයි ඇමැති තෙන්නකෝන් පවසා ඇත.

“දේශීය රාජ්‍ය ආයතන, අධ්‍යයන ආයතන සහ විදේශීය පාර්ශ්ව අතර අත්සන් කරන ලද ගිවිසුම් කිහිපයක ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාවයට ඇති බලපෑම පිළිබඳ කනස්සල්ල මතුවූයේ පසුගිය දෙවසර තුළ චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකා ශ්‍රී ලංකාවට කළ බහුවිධ සංචාරවලින් පසුවය. මෙම සංචාරයන් ශ්‍රී ලංකාව සහ ප්‍රධාන කලාපීය සහ බාහිර කලාපීය රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් ඇති කළ අතර, ශ්‍රී ලංකා මුහුදු තීරය මැනබලන සියලුම විදේශීය විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා සඳහා වසරක (2024) තහනමක් ප්‍රකාශයට පත්කිරීමට ශ්‍රී ලංකාවට හේතුවිය.”

“කමිටුවේ මූලික වගකීම් අතරට දැනට පවතින සියලුම අවබෝධතා ගිවිසුම් හොඳින් පරීක්ෂා කර බලා මෙම ගිවිසුම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නිර්දේශ සකස් කිරීම ඇතුළත් වේ. කමිටුවට පැවරී ඇති නිශ්චිත කාර්යයන් අතරට ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ නීතිමය රාමු සම්බන්ධ විවිධ අංශ ඇතුළත් වේ. දේශීය හා විදේශීය ආයතන අතර අවබෝධතා ගිවිසුම් සහයෝගීතාවය තුළින් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සබඳතා ඇති කර ගැනීම අරමුණු කරයි. කෙසේවෙතත්, මෙම ගිවිසුම්වල ප්‍රශස්ත බව සහතික කිරීම සඳහා විවේචනාත්මක සමාලෝචනයක් අවශ්‍ය වේ. ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, නෛතික සහ ක්‍රියාකාරී බැඳීම්, හුවමාරු කොන්දේසි සහ සම්බන්ධ වූ ආයතනවලට විශේෂිත වූ සුවිශේෂී ගැටළු ඇගයීමට ලක්කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර ඇතුළත් වේ. අවබෝධතා ගිවිසුම් මගින් දෙපාර්ශවයටම ආර්ථික, තාක්ෂණික සහ උපාය මාර්ගික වශයෙන් අන්‍යෝන්‍ය වාසි ලබාදිය යුතුය. නීතිවලට අනුකූල වීම, විධිවිධානවල පැහැදිලිකම සහ දක්වා ඇති බැඳීම්වල සම්පූර්ණත්වය විභාග කිරීම අවශ්ය වේ. සම්පත් හා දැනුම හුවමාරු කිරීමේ යාන්ත්‍රණවල සාධාරණත්වය, කාර්යක්ෂමතාව සහ බලාත්මක කිරීමේ හැකියාව තක්සේරු කිරීම අවශ්‍ය වේ.” යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

42.31%
17.27%
32.76%