December 18, 2023

අලුත් චීන නැවට ලංකාවට එන්න අවසර නෑ – අවුරුද්දකට විදේශ පර්යේෂණ නැව් ගෙන්නන්නෙ නෑ – ඡන්දෙ නිසා ලංකාවේ තීරණ වෙනස් වේ!

2024 වසරේදී සහ ඉන් ඔබ්බට සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ (MSR) විදේශ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීමේ අත්හිටුවීමක් පිළිබඳ ශ්‍රී ලංකා රජය සළකා බලමින් සිටින බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව, ගුවන් අවකාශය හරහා ගමන්කිරීම, දේශීය වරායන් සහ ගුවන්තොටුපොළ වෙත විදේශීය යුද නැව්, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අනුමැතිය ලබාදීම පිළිබඳ ශ්‍රී ලංකාව විසින් සමාලෝචනය කරන ලද සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (SOP) විදේශ දූත මණ්ඩල වෙත ලබාදීමෙන් කිරීමෙන් සති කිහිපයකට පසුව මෙම තීරණය ගෙන ඇත.

නව සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය බලාත්මක කිරීම ප්‍රමාදකිරීම සහ චීන භූ භෞතික හා භූ කම්පන සමීක්ෂණ නෞකාවක් වන Shi Yan 6 ඔක්තෝබර් මාසයේදී කොළඹ වරායට පැමිණීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත් තීරණයට ඉන්දියාවෙන් සහ එක්සත් ජනපදයෙන් දැඩි හෙළාදැකීම් සහ රාජ්‍ය තාන්ත්‍රික පීඩනයන් මතුව තිබිණි.

ඉන්දියන් සාගරයේ භූ-දේශපාලන ආතතීන් අඛණ්ඩව ඉහළ යන පසුබිමක ඉන්දියානු සාගර කලාපයේ චීන නාවික ක්‍රියාකාරකම් වැඩිවීම සහ සමුද්‍ර පර්යේෂණ යාත්‍රා තිබීම පිළිබඳ ඉන්දියාව, එක්සත් ජනපදය ඇතුළු පිරිස් ශ්‍රී ලංකාවට නැවත නැවතත් කණස්සල්ල පළකර තිබේ.

කෙසේවෙතත් ඔවුන්ගේ විරෝධතා නොතකා එම නෞකාවලින් කිහිපයක් ශ්‍රී ලංකා වරායට කැඳවා ඇත.

ඕනෑම නෞකාවක සංචාරයක් සහ අවසරයක් ලබාදීම ශ්‍රී ලංකාවේ ස්වෛරී අයිතියක් බවත්, ඉන්දීය අවශ්‍යතාවට හානියක්වීමට ශ්‍රී ලංකාව ඉඩ නොතබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තහවුරු කර ඇත.

ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් සහ පළාත්පාලන මැතිවරණයක් පැවැත්විය හැකි තීරණාත්මක වසරක් වන 2024 වෙත ශ්‍රී ලංකාව එළැඹෙන විට, තාවකාලික තහනමක් පිළිබඳ රජයේ සළකා බැලීම පැමිණේ.

2024 වසරේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමාලෝචනයක් ද ගෙනඑනු ඇති අතර, පසුගිය වසරේ බංකොලොත්භාවය ප්‍රකාශ කළ ශ්‍රී ලංකාව පෙර නොවූවිරූ ආර්ථික අර්බුදයෙන් පසු “ප්‍රකෘතිමත් වීමේ වසරක්” බවට ලබන වසර පත්කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“ශ්‍රී ලංකා මුහුදේ හෝ රටේ සුවිශේෂී ආර්ථික කලාපයේ (EEZ) සමීක්ෂණ පැවැත්වීමට විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් රජය වසරක තහනමක් සළකා බලමින් සිටී. මෙම නැව් පැමිණීම බරපතළ රාජ්‍යතාන්ත්‍රික ආතතීන් ඇති කරන අතර 2024 යනු මැතිවරණ වසරකි. රජයට එල්ල විය හැකි පීඩනය නිසා මෙවැනි නැව් සංචාර කලාපයට සහ ශ්‍රී ලංකාවට බෙහෙවින් බාධාකාරී වියහැකිය. එබැවින්, වසරක් හෝ ඊට වැඩි කාලයක් සඳහා තාවකාලික තහනමක් සළකා බලමින් පවතී, ” යනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප්‍රකාශකර තිබේ.

තවත් පර්යේෂණ නෞකාවක් වන Xiang Yang Hong 3 ලබන වසරේ මුල්භාගය වනවිට ශ්‍රී ලංකාවේ වරායන් වෙත කැඳවා සමීක්ෂණයක් කිරීමට අවසර දෙන ලෙස චීනය විසින් කරන ලද ඉල්ලීම හේතුවෙන් රජය වෙනත් විකල්පය සළකා බැලීමට පටන්ගත් බව විශ්වසනීය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කලාපය තුළ සමීක්ෂණයක් පැවැත්වීම සඳහා Xiang Yang Hong 3 සඳහා වූ රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මාලදිවයිනේ සිදුවෙමින් පවතින දේශපාලන වෙනස්කම් සහ එරට නව රජය චීනය දෙසට වැඩි නැඹුරුවක් දැක්වීමත් සමඟ, Xiang Yang Hong 3 සිය සමීක්ෂණ ප්‍රයත්නයන් ඔවුන් දෙසට හරවා යැවීමේ හැකියාවක් ද පවතී.

නැගෙනහිර අප්‍රිකානු රටක්වන මරිෂස්හි පසුගියදා පැවති කොළඹ ආරක්ෂක කතිකාවතට මාලදිවයින නොපැමිණි අතර ඉන්දියාව සමඟ ඇති කරගත් සාගර විද්‍යා ගිවිසුමක් අලුත් නොකිරීම ද සැළකිව යුතු කරුණකි.

මාලදිවයින කොළඹ ආරක්ෂක සංවාදයෙන් ඉවත්වුවහොත් කලාපීය ආරක්ෂක තත්ත්වයට බලපෑමක් මතුකරන අතර ඉන්දියාව ඒ වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ සැළකිව යුතු උත්සාහයක් දරා ඇත.

(The Morning)

42.31%
17.27%
32.76%