April 19, 2025

තාප බලශක්ති මාෆියාවේ අතකොළුවක් බවට පත්ව ඇති ආණ්ඩුව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කිරීමට සැරසෙන බව විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

“ශ්‍රී ලංකාව වැනි රටකට පුනර්ජනනීය බලශක්තිය දැරිය හැකි මිලකට තිබෙනවා. එය ලාභදායී බලශක්ති ප්‍රභවයක්. මෙම ආණ්ඩුව මැතිවරණ වේදිකාවේදී පුනර්ජනනීය බලශක්තිය සුරක්‍ෂිත කරන බවට ප්‍රතිඥා දුන්නා. නමුත් ආණ්ඩුව දැන් තාප විදුලි මාෆියාවේ අතකොළුවක් වෙලා. මේ ආණ්ඩුව ඇත්ත වශයෙන්ම ගල් අඟුරු බලාගාර හිමියන්ගේ වහලෙක් බවට පත් වෙලා” මින්නේරිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසීය.

එමෙන්ම ඔහු කියාසිටියේ ජනතාව විසින් එල්ල කරන ලද බලපෑම් හේතුවෙන් විදුලි බිල සියයට 20කින් අඩු කිරීමට රජයට සිදු වූ බවයි.

ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය නිසා ළඟදීම විදුලි බිල වැඩිකිරීමට සිදුවිය හැකි බවත්, මුළු ලෝකයම පුනර්ජනනීය බලශක්තිය දෙසට ගමන් කරන මොහොතේ ආණ්ඩුව රට තුළ බොරුව රජ කරවමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ පොහොර මිල ඉහළයෑමේ ඉඩක් ද පවතින බවයි.

පසුගිය ගංවතුරෙන් සහ අලි මිනිස් ගැටුමෙන් ගොවීන්ට සිදුවූ හානියට වන්දි ගෙවා නොමැති බව ද පෙන්වාදුන් විපක්ෂ නායකවරයා පැවසුවේ සහල්, පොල් සහ කිරි ආහාරවල මිල වැඩිවී ඇති බව සහ ලුණු ස්වල්පයක් පවා මිලදී ගත නොහැකි තත්ත්වයක් පවතින බවයි.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන් රැවටිලිකාර දේශපාලනය අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ද ඔහු එහිදී පැවසුවේය.