February 23, 2025

ඉකුත් සතියේ ඇල්ල රොක් ප්‍රදේශය හරහා පැතිර ගිය ගින්නෙන් අක්කර 600 කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර එය වනජීවය, සංචාරක ව්‍යාපාරය සහ වාතයේ ගුණාත්මකභාවයට බලපෑම් කර ඇති බවත්, එම ප්‍රදේශයට එල්ල වී තිබෙන නායයෑමේ තර්ජන එමගින් ඉහළ ගොස් ඇති බවත් පරිසරවේදහු පෙන්වාදෙති.

මුවන්, හාවුන්, වල් ඌරන්, වඳුරන් සහ කුරුලු විශේෂ 220කට පමණ නිවහනක් වන රාවණා ඇල්ල අභයභූමියට ගින්නෙන් සිදුවූ හානිය පිළිබඳව එම පරිසරවේදීන් මෙලෙස කනස්සල්ල පළ කර තිබේ.

මේ වන විටත් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශයේ සහ ඒ අවට පාංශු ඛාදනය දැකගත හැකි වී ඇති අතර, ඇල්ල-වැල්ලවාය මාර්ගයට ගල් පෙරළීමෙන් එම මාර්ගයේ ධාවනය කෙරෙන රථ වාහන සඳහා එල්ල වන අවදානම වැඩිවීම පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.

“එවැනි ගිනිගැනීම්වලින් පසු ඇති ප්‍රධානතම ප්‍රශ්නය නම් මතුපිට අස්ථායී, පාෂාණ ලිහිල්වීමයි. මෙමගින් විශේෂයෙන් වර්ෂා කාලවලදී පාංශු ඛාදනය වීමේ අවදානම සැළකිව යුතු ලෙස වැඩි වේ” යනුවෙන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ උදය කුමාර ජනමාධ්‍ය වෙත පවසා ඇත.

මෙම ව්‍යසනය ඇල්ල ආර්ථිකයේ ප්‍රධාන කොටසක් වන සංචාරක ව්‍යාපාරයට ද ක්ෂණික බලපෑමක් ඇති කර තිබේ.

බොහෝ සංචාරකයන් ගින්න ඇවිළෙන ආකාරය දෙස බලාසිටියේ වේදනාවෙනි. එක් විදේශීය යුවලක් තම කුඩා දරුවාද කැටුව දර්ශනීය රක්ෂිතයට වන විනාශය දැක කඳුළු සලමින් සිටි බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

වාසනාවකට මෙන්, ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වන රාවණා ඇල්ල දියඇලි ප්‍රදේශයට ගින්න පැතිරීම ගිනි නිවන භටයන් විසින් වළක්වා තිබිණි.

ගින්න සම්බන්ධයෙන් හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පැහැදිලි කළ උදය කුමාර පෙන්වාදෙන්නේ, “වන සංරක්ෂණ සහ වනජීවී නිලධාරීන් තමයි පළමු ප්‍රතිචාර දක්වන්නන්. ඔවුන්ට ගින්න මැඩපැවැත්වීමට නොහැකි නම්, ඔවුන් අපව දැනුවත් කරනවා. පොලිසිය විසින් තහවුරු කිරීමෙන් පසුව, තත්ත්වයෙහි බරපතලකම අනුව අපි ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආපදා සහාය ප්‍රතිචාර කණ්ඩායම ගිනි නිවීමේ ප්‍රයත්නයන් සඳහා සහය වී තිබිණි. කෙසේවෙතත්, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ විසින් තහවුරු කරන ලද පරිදි හෙලිකොප්ටර් යානා ඒ යොදවා නොතිබුණි.

ගුවන් ගිනි නිවීමේ ක්‍රමය භාවිත නොකරන්නේ ඇයිදැයි කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ උදය කුමාර පවසා ඇත්තේ, හෙලිකොප්ටර් යානා ඵලදායී නොවන බව අතීත අත්දැකීමෙන් පෙන්නුම් කරන බවයි.

“ඔවුන්ගේ එක් මෙහෙයුමක් සඳහා රුපියල් මිලියනයකට වඩා වැඩි මුදලක් වැයවන අතර සමහර විට රත්මලාන සිට පැමිණීමට වැඩි කාලයක් ගතවනවා. අත්‍යවශ්‍ය නම් මිස හෙලිකොප්ටර් භාවිතා නොකිරීමට අපි තීරණය කර තිබෙනවා.” ඔහු පවසයි.

ගින්නට හේතුව ගිනිතැබීමක් බවට සැකකරයි.