October 16, 2023

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් කතාබහක් යළි කරළියට පැමිණ තිබේ.

බොහෝවිට එය ආණ්ඩුවේ බලගතු පාර්ශවයක් විසින් උපක්‍රමයක් ලෙස මතු කළ කරුණක් බවට මතුවන සැකය වැඩිය.

මෙම පියවර පිටුපස ඇති පැහැදිලි තර්කය වන්නේ ජනාධිපතිවරණයක අවශ්‍යතාවය මගහැරීමයි.

එය ජාතික ජනමත විචාරණයක් හරහා සිදුකිරීමට යෝජිතය.

ඒ මහමැතිවරණයකට පාර කපාගැනීම උදෙසාය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පියවරක ඵලදායීත්වය බොහෝදෙනාගේ කතාබහට ලක්ව ඇති නමුත් එවැන්නක් කිසිදා ක්‍රියාත්මක නොවූ බව රහසක් නොවේ.

මන්ද, එය 1978 සිට වසර 45කට වැඩි කාලයක් විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය අසාර්ථක වූ බව පිළිගැනීම වන බැවිනි.

මේ සම්බන්ධ කතාබහ ආණ්ඩු පක්ෂ ප්‍රබලයකු වෙතින් මතුව තිබුණේ, ප්‍රධාන වශයෙන් විරුද්ධ පක්ෂ කණ්ඩායම් වන සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ප්‍රකාශ හමුවේය.

එමගින් කියැවී තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජාතික ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවකි.

මෙම යෝජනාව ප්‍රසිද්ධියට පත්වුවද, එය ප්‍රකාශ කළේ කවුරුන්ද යන්න හෙළිදරව් නොකිරීමට ඔහු වගබලාගෙන තිබිණි.

කෙසේවෙතත් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.

එනම් ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන ඕනෑම යෝජනාවක් මගින් පාර්ලිමේන්තු මැතිවරණයක් වහාම පැවැත්වීම සඳහා ප්‍රතිපාදන සම්පාදනය කළ යුතු බවයි.

ඇතැම් විට මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කරනතුරු ඔවුන් ඒ සඳහා එකඟ නොවීමට ද ඉඩ තිබේ.

කෙසේවෙතත් ලබන වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.

මැතිවරණ කල්දැමීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ලෙස ඇතැම් පාර්ශ්වයන් වැරදි ලෙස අර්ථකථනය කරන්නේ, මෙම ප්‍රතිසංස්කරණ බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ පසුගිය දිනක පවසා තිබිණි.

එම ප්‍රතිසංස්කරණ මැතිවරණ ප්‍රමාද නොකරන බවත්, එය ජනාධිපතිවරණවලට සම්බන්ධ නොවන බවත් ඔහු අවධාරණය කර තිබිණි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ “මේ රට භීතිකාවන්ගේ රටක්. අපි වෙනස්කම් ගේනකොට කියනවා, ගේන්න තියෙන හදිසිය මොකක්ද කියලා. අපි ප්‍රමාද කරනකොට කෑගහනවා, ඇයි ඔච්චර කල් ගත්තේ ප්‍රතිසංස්කරණ ගේන්න කියල. ආණ්ඩුව ප්‍රතිසංස්කරණ කියලා මැතිවරණ කල්දමන්නේ නැහැ. අපේක්ෂා කරන ලද ප්‍රතිසංස්කරණ මගින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 160ක් තෝරා පත්කර ගැනීම මිශ්‍ර ක්‍රමය යටතේ සිදු කළ හැකියි. ආසන 225කින් සමන්විත පාර්ලිමේන්තුවේ ඉතිරි මන්ත්‍රීවරුන් 65දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ඡන්දදායකයන් සංඛ්‍යාව අනුව ජාතික ලැයිස්තුවෙන් සහ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පත්කරගත හැකියි. එම යෝජනා දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබිණි.

එසේම විපක්ෂයෙන් ඉදිරිපත් කරන යෝජනාද සළකා බලන බව ඔහු ප්‍රකාශ කර තිබිණි.

එබැවින් මේ අවස්ථාවේදී මේවා යෝජනා පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.

නෛතික බැඳීමකින් තොර යෝජනාවකට හැර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජාතික ජනමත විචාරණයක් පැවැත්වීමට වන ඕනෑම යෝජනාවකට පළමුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත විය යුතුය.

සංඛ්‍යාත්මකව සංයුතිය විශාල ලෙස වෙනස් වී නොමැති නම් එය අපහසු කාර්යයක් නොවන බව කෙනෙකුට තර්ක කළ හැකිය.

පසුගිය වසරේ ජුලි 20 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවෙන් තේරී පත්විය.

මෙම ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයකට පටහැණිව කටයුතු කිරීම නිසා පක්ෂයෙන් නෙරපා හැරීමට ගත් තීරණයක් මෙම මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින් තහවුරු වූ පසුබිමක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට නුසුදුස්සකු බවට පත්විය.

එහෙත් එම ඡන්ද සංඛ්‍යාව මේ වන විට 135 දක්වා ඉහළ ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේෂ් වඩිවේල් සහ ඒ.එච්.එම්. ෆවුසි ආණ්ඩුවට එක්වීමත් සමගය.

ඒ අනුව, මන්ත්‍රීවරුන් 225 දෙනකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ප්‍රමාණය වන ඡන්ද 150 දක්වා ළඟාවීමට තවත් මන්ත්‍රීවරුන් 15දෙනකුගේ හිඟයක් පවතී.

දෙමළ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ට බලපෑම් කිරීම තවමත් පහසු කාර්යයක් නොවන්නේ, ඇත්ත වශයෙන්ම, ඔවුන් ඔවුන්ට ලබාදෙන දේශපාලන සහතික මත රැඳී සිටිය හැකි බැවිනි.

තමිල් මක්කල් තේසිව්‍ය කූටනි සංවිධානයේ නායක සී.වී.විග්නේෂ්වරන් පසුගිය සතියේ ජනාධිපති වික්‍රමසිංහ වෙත යවන ලද ලිපියෙන් ඒ බව තහවුරු වේ.

එම ලිපියෙන් ඔහු කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයකදී දෙමළ ජනතාව පොදු දෙමළ අපේක්ෂකයකු ගැන සිතමින් සිටින බවය.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වාදී තිබුණේ, ජනාධිපතිවරයා පොරොන්දු වූ බොහෝ කාරණා මෙතෙක් ඉටු වී නොමැතිවීමය.

සැබවින්ම ජනමත විචාරණයක් සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකය යෑම දෙපැත්ත කැපෙන ආයුධයක් හා සමාන විය හැකිය.

එය සම්මත නොවීම, ඉන් පසුව ඕනෑම අවස්ථාවක මැතිවරණ පැවැත්වෙන විට ආණ්ඩුවට දැඩි ලෙස බලපානු ඇත.

අනෙක් අතට ආණ්ඩුවට එය පාර්ලිමේන්තුව හරහා ගෙන යා හැකි නම් ජනමත විචාරණයෙන් එය පරාජය වීමේ ඉඩකඩක් තිබේ.

එනම් පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන සහතිකයක් නොමැති නම් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පක්ෂ දෙකම එයට විරුද්ධ වීමට ඉඩ ඇති බවය.

මෙම ප්‍රධාන පක්ෂ දෙක එක්ව ගත් කල, රටේ සමස්ත ඡන්ද පදනමෙන් තුනෙන් දෙකක් පමණ වේ.

ශ්‍රී ලංකාවේ අවසන් සහ එකම ජාතික ජනමත විචාරණය දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් පවත්වන ලද්දේ 1982 දෙසැම්බර් 22 දිනය.

ඒ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයකින් දීර්ඝ කිරීම සඳහා ය.

කෙසේවෙතත් එම අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් පැවතිණි.

එය ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතරයක් පවත්වා ගැනීමට උපකාරී විය.

කෙසේවෙතත් එම ආණ්ඩුව හඳුන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අනුමැතිය හිමිවීමත් සමග, සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 225 දක්වා වැඩිවිය.

වත්මන් ආණ්ඩුව එවැනි ජනමත විචාරණයකට යොමුවන්නේ නම්, දැනට පවතින දේශපාලන වාතාවරණය අවධානයට ගැනීම වටී.

වේගයෙන් වෙනස් වන දේශපාලන වාතාවරණය තුළ, කලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා විසින් පිහිටුවා ගත් නව සන්ධානයේ නොසන්සුන්තාව අඛණ්ඩව යම් අවිනිශ්චිතතාවයන්ට මුහුණදෙමින් සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29ක් එම සන්ධානයට එක්වන බව කලින් ප්‍රකාශ වී තිබූ අතර, ඉන්19 දෙනකු කඩිනමින් එක්වන බවට ප්‍රකාශ කරන ලද්දේ, මූලික වශයෙන් ජනාධිපතිවරණයකදී වික්‍රමසිංහට සහාය ලබාදීම ඉලක්ක කරගනිමිනි.

එම සංඛ්‍යා නිවැරදි නම්, ඔවුන් පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ ශක්තිය ඉක්මවා යනු ඇත.

ඉකුත් කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යාලයේ සිට කටයුතු කළ ලාන්සා, පසුව නව සන්ධානයේ කාර්යාලය ලෙස රාජගිරියේ ලේක් ඩ්‍රයිව්හි කාර්යාලයක් විවෘත්ත කළේය.

මේ සතියේ මීගමුවේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක පැවැති වැඩමුළුවකට එම සන්ධානයට පිටුබලය දෙන සාමාජිකයන්ට ආරාධනා කර තිබුණද, එම අවස්ථාවට සහභාගී වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12දෙනකු පමණක් බව වාර්තා වේ.

අනුර ප්‍රියදර්ශන යාපා, ලසන්ත අලගියවන්න, වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ඊට පැමිණ සිටි බව කියැවේ.

මෙම නව සන්ධානයේ ප්‍රධාන සමාරම්භක උත්සවය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතත්, ඒ වන විට එහි සාමාජිකත්වයේ තත්ත්වය පිළිබඳව කිසිවකුට විශ්වාසයක් නැත.

ඊට හේතු වී ඇත්තේ, පක්ෂ තීරණයකට පටහැණි වූ නසීර් අහමඩ් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවයි.

එහෙත්, තවත් පිරිසක් තර්ක කරන්නේ, පක්ෂ තීන්දුවට පටහැණිව කටයුතු කළ තමන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත්තේ පක්ෂය විසින්ම එය අනුමත කර තිබීම නිසා බවයි.

එවන් පසුබිමක මේ අවස්ථාවේ ආණ්ඩුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවකට නොයනු ඇතැයි ද සිතිය නොහැක.