November 5, 2023

ජාතීන් අතර සහජීවනය ඇති කිරීම ඇතුළු ශ්‍රී ලංකා රජයේ අභ්‍යන්තරයේ ප්‍රගතිශීලී ක්‍රියාකාරකම් සඳහා යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහාය පළකර ඇති බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්රි ප්‍රකාශකර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගම් නියෝජිත පිරිස සමඟ පැවති හමුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා රජයේ ආර්ථික ප්‍රකෘතිමත් ක්‍රියාකාරකම් සහ ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස දැඩි අවධානයක් යොමුකළ බවයි.

ශ්‍රී ලංකා රජය අභ්‍යන්තරව විසඳමින් යන ගැටලු සම්බන්ධයෙන්ද ඔවුන්ගේ පූර්ණ සහයෝගය ප්‍රකාශකර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව ඇතැම් ක්‍ෂේත්‍රවලින් ලබා ඇති ජයග්‍රහණවලින් පසු ඔවුන් තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති අතීත ස්ථාවරයන් සහ වත්මන් ස්ථාවරයන් අතර වෙනස්කම් ඇති බව නිරීක්ෂණය කළ හැකි යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

එම අර්ථයෙන්, යුරෝපා සංගමය සමඟ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා වැඩි බලාපොරොත්තුවක් ඇති බවද ඇමැතිවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යයේ පිහිටා තිබීම හේතුවෙන් නොබැඳි ප්‍රතිපත්තියට අනුව සියලු පාර්ශ්ව සමඟ අත්වැල් බැඳගෙන ගමන් කිරීමට සිදුවීමේ යථාර්ථයද ඔවුන් අවබෝධ කරගෙන ඇති බවයි.

රටේ සියලුම ජනතාවට සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනැගීමට රජය දක්වන කැපවීම අගයකරමින් ඒ සඳහා අපක්ෂපාතී පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටි බවද ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේය.

42.31%
17.27%
32.76%