July 31, 2023

වලව කලාපයේ ගොවි බිම් සඳහා ජලය නිකුත් කිරීමට ඇති එකම විකල්පය ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය බව වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවීන් විසින් තම කුඹුරුවලට ජලය ඉල්ලා සත්‍යග්‍රහයක් දියත් කර අදට දින අටක් වන අතර, උඩවලව ජලාශයට ඉහළින් පිහිටි සමනල වැවෙන් සති දෙකක කාලයක්වත් වී වගාව පෝෂණය කිරීම සඳහා ජලය මුදාහරින ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

එහෙත්, එසේ ජලය නිකුත් කළහොත් දැනට පවතින ජල මට්ටම තවදුරටත් පහත වැටෙන බවත්, එපමණක් නොව දකුණු පළාතේ පැය තුනක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවත්, ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

එමෙන්ම අද (31) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම අර්බුදය පිළිබඳව සාකච්ඡා කරන බවත්, මේ හේතුවෙන් වගාවන් විනාශ වුවහොත් වන්දි ලබාදීමට පියවර ගන්නා බවත්, වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ පවසයි.

කුඹුරුවලට අවශ්‍ය පරිදි ජලය නොලැබුණහොත් රුපියල් බිලියන 18කට වැඩි ඇස්තමේන්තුගත වටිනාකමකින් යුත් සහල් නිෂ්පාදනයක් රටට අහිමි වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ඒ අනුව, රටේ වී නිෂ්පාදනය අඩාළ වුවහොත් ඉල්ලුමට සරිලන පරිදි සහල් ආනයනය කිරීමට සිදුවන බවත්, එමගින් රජයට අමතර වියදමක් දැරීමට සිදුවන බවත්, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.

ඉන්දියාව වැනි රටවල්, සහල් අපනයනය සීමාකිරීමට තීරණය කර ඇති බැවින්, සහල් ආනයනය කිරීම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.