January 21, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්තගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකරට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව කොළඹ දිසා අධිකරණය හෙට සලකා බැලීමට නියමිතය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් ඉවත් කරන ලද අතර, ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවන ලදී.

වැඩබලන මහලේකම්වරයාගේ ක්‍රියාන්විතය වැලැක්වීම සඳහා දයාසිරි ජයසේකර එම ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවද මැතිවරණ කොමිසමට සහ අනෙකුත් අයට විවිධ අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට පැමිණිලිකරුවන්වන හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ සාරතී දුෂ්මන්ත යන අය සිය පැමිණිල්ලෙන් චෝදනා කර ඇත.

2023 දෙසැම්බර් 02 වැනිදා වගඋත්තරකරුට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, 2023 වසරේ කැඳවූ පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරඟ කරන අනෙකුත් පක්ෂ වෙනුවෙන් පක්ෂ අනුමැතියක් ලබා නොගෙන එම පක්ෂයට අයත් මුදල්වලින් ඇප මුදල් තැන්පත් කර පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට එල්ලවන චෝදනා මෙන්ම, ඔහු පක්‍ෂ නිලධාරීන්ට සහ ක්‍රියාකාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කර ඇති බවත්, එමෙන්ම පක්ෂ නායකත්වයට අපහාස කිරීම සහ පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතුවලට බාධා කිරීම අරමුණු කරගනිමින් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ අදහස් පළ කළ බවත්, සඳහන්ය.

වැඩබලන මහලේකම්වරයාගේ රාජකාරියට බාධා කිරීමට දයාසිරි ජයසේකර කටයුතු කිරීම පක්ෂයේ සංවිධානයට මෙන්ම පරිපාලන හා දේශපාලන කටයුතුවලට දැඩි ලෙස බලපානු ඇතැයි පැමිණිලිකරුවන් අවධාරණය කර ඇත.

මෙම නඩුව දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන ඉදිරියේ කැඳවීමට නියමිතය.

42.31%
17.27%
32.76%