March 31, 2025

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිඥවරියක රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් ලබාදුන් තීන්දුව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව චුදිත ප්‍රියංකා උදයංගනී සමරතුංග නමැති නීතිඥවරියට ඇප ලබාදීමටත් ඇයව බන්ධනාගාරයෙන් නිදහස් කිරීමටත් නියෝග කෙරී ඇත.

නීතිඥවරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමක් පෙනීසිටියහ.

මාර්තු 28 වැනි දින සිදු වූ සිදුවීමකින් පසු අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් අදාළ නීතිඥවරියක් රිමාන්ඩ් භාරයට පත්කර තිබිණි.

නීතිඥවරියට එරෙහි චෝදනා පත්‍රයෙන් හෙළිවන්නේ, නීතිඥවරිය අධිකරණයට ඇතුළු අවස්ථාවේ හිස නමා ආචාර කර නැති බවත්, එය නිසි ගෞරවයක් නොපෙන්වීමකට සමාන බවත්ය.

නීතිඥවරියට එරෙහි අනෙක් චෝදනාවෙන් කියැවෙන්නේ මාර්තු 7 වැනි දින ඇප විභාගයක් සඳහා චූදිතයකු වෙනුවෙන් පෙනී සිටි විට, එම නීතිඥවරිය හිතාමතාම නිසි ගෞරවයකින් තොරව අධිකරණයට ආමන්ත්‍රණය කළ බවයි.

චූදිත නීතිඥවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය වන නදීහා අබ්බාස්ගේ ප්‍රකාශයකට අනුව, ඇපකරුවන් දෙදෙනෙකු සහිතව කොන්දේසි යටතේ අධිකරණය චූදිත නීතිඥවරියට ඇප ලබා දී ඇත.

කෙසේ වෙතත්, ඇප ලබා දීමේ ප්‍රායෝගික දුෂ්කරතා සම්බන්ධයෙන් අධිකරණයේ අවධානයට ලක් කිරීමෙන් අනතුරුව, මහාධිකරණ ඇයව රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබිණි.