November 25, 2023

සීනි කම්හල්වල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වන විට අතිරික්තයක් ලෙස පවතින බව භාණ්ඩ හා සේවා අපනයනය වැඩි කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වී තිබේ.

ඒ අනුව නියමිත ප්‍රමිතීන්ට අනුකූලව එතනෝල් අපනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව එම නිලධාරීන් පෙන්වා දී ඇත.

එතනෝල් ආනයනය තහනම් කිරීම හේතුවෙන් මේ වන විට සීනි කර්මාන්ත ශාලා ප්‍රතිලාභ ලබන බවද එම කාරක සභාවේදී අනාවරණය විය.

සීනි නිෂ්පාදනයේ අතුරු නිෂ්පාදනයක් වන මෙම එතනෝල් මධ්‍යසාර නිෂ්පාදනය සඳහා භාවිත කරන බැවින් එම සීනි කර්මාන්තශාලාවලට මධ්‍යසාර නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීම වඩාත් ඵලදායී බව නිලධාරීන් පෙන්වා දී තිබේ.

මෙරට සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 06ක් පමණ වන බවද එම නිලධාරීහු කමිටුවට පෙන්වා දුන්හ.

එහෙත් එම අවශ්‍යතාව සඳහා ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ මෙට්‍රික් ටොන් 60,000ක් හෙවත්10%ක් පමණක් බව කාරක සභාවේදී අනාවරණය විය.

ඒ අනුව 2024 වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මාස තුනක් ඇතුළත ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස එම කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම සීනි පරිභෝජනය පිළිබඳ මෙරට ජනතාවගේ දැනුම ඉතා පහළ මට්ටමක පවතින බැවින් ජනතාව දැනුවත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද එම කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන තල් අරක්කු සහ අනෙකුත් මධ්‍යසාර සඳහා විදේශයන්හි හොඳ ඉල්ලුමක් පවතින නමුත් ප්‍රමිතියේ දුර්වලතා හේතුවෙන් වෙළෙඳපොළ පුළුල් කිරීමට නොහැකි වී ඇති බව නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මධ්‍යසාර නිෂ්පාදන නිසි ප්‍රමිතීන්ට අනුකූලව අපනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම ද එම නිලධාරීන් පෙන්වා ඇත.

42.31%
17.27%
32.76%