December 6, 2023

රට බංකොලොත්භාවයෙන් ගොඩගෙන අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනාවරණය කළේය.

ඒ අනුව, මෙම මාසයේ මැද භාගයේ දී පමණ ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා හෙළිකළේය.

බංකොලොත්භාවයට පත්ව තිබූ රට මාස 18ක් වැනි කෙටි කාලයකින් බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ අද (06)පැවති රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට එක්වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.

“පසුගිය වසරේදී අප රටක් ලෙස විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. එම අර්බුදයෙන් රට ගොඩගැනීමේදී රාජ්‍ය නිලධාරීන් හා රටේ සමස්ත ජනතාව විශාල කැපකිරීමක් කළා. ඒ වෙනුවෙන් අප ඔවුන්ට ස්තූති කළ යුතුයි.

මෙම මාසයේ මැද භාගයේ දී පමණ අප රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි. නමුත් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අප නව ආර්ථික ක්‍රමවේද අනුව ඉදිරියට යා යුතුයි. එසේ නොමැතිව පැරණ ආර්ථික ක්‍රමවේද ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 ඇතුළත නැවත මේ රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකියි.”

42.31%
17.27%
32.76%