April 10, 2025

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි හෝ පැණිරස කෑම මේසයක් සැකසීමේදී වැයවන වියදම 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී 7% කින් ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබේ.

වෙරිටේ රිසර්ච් ආයතනයේ වාර්තාවකට අනුව එම වියදම 2019 වසරේදී වැයකළ වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී.

එම විශ්ලේෂණය මගින් අනාවරණ වී ඇත්තේ, 2024 මාර්තු සහ 2025 මාර්තු අතර අමුද්‍රව්‍යවල මිලෙහි 7% ක වැඩිවීමක් පවතින අතර ඊට මූලික වශයෙන් පොල් සහ පොල්තෙල් මිල පිළිවෙළින් 80% සහ 40% කින් සැලකිය යුතු ඉහළ යෑම බලපා ඇති බවයි.

අනෙකුත් බොහෝ අමුද්‍රව්‍ය මිල ස්ථායීව හෝ අඩු අගයක පවතී.

2024 දී අමුද්‍රව්‍යවල මිල 2019 ට සාපේක්ෂව 2.2 ගුණයකින් වැඩි වී ඇති අතර 2025 වන විට මෙම අගය 2019 හි පිරිවැය මෙන් 2.4 ගුණයක් දක්වා ඉහළ ගොස් ඇත.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් කෙරෙන සාම්ප්‍රදායික කැවිලි මේසයක් සඳහා සාමාන්‍යයෙන් සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සම්ප්‍රදායික ශ්‍රී ලාංකේය රසකැවිලි වර්ග තෝරාගනී.

එලෙස තෝරාගන්නා පොදු ආහාර අතර කිරිබත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් ඇතුළත් වේ.

පවුලේ සාමාජිකයන් 4 – 5 දෙනකුගෙන් යුත් නිවසක් සඳහා කැවිලි මේසයක් සැකසීමට අවශ්‍ය බවට ඇස්තමේන්තු කරමින්, ජනප්‍රිය යූ ටියුබ් නාලිකාව වන “අපේ අම්මා” හි ආහාර වට්ටෝරු මත පදනම්ව විශ්ලේෂණයේදී ද්‍රව්‍ය ප්‍රමාණ භාවිත කර තිබේ.

එහිදී ප්‍රධාන අමුද්‍රව්‍ය සඳහා වැයවන වියදම් පමණක් ගණන් බලා ඇති අතර උපයෝගිතා පිරිවැය (විදුලිය/ගෑස්) සහ කුළුබඩු සඳහා වන වියදම් බැහැර කර ඇත.

මිල දත්ත සෘජුවම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන්, විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ තුළ පවතින 2019 සහ 2023 අප්‍රේල් 1 සතිය සහ 2024 සහ 2025 මාර්තු 3 සතියේ සාමාන්‍ය සිල්ලර මිලෙන් ලබාගෙන තිබේ.