December 28, 2023

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කළ ප්‍රකාශය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම ප්‍රකාශය ලබා ගැනීම සඳහා ඔහුගේ නිවසට ගිය බව පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පැමිණියේ මන්දැයි ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මෙම පැහැදිලි කිරීම කර ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බැවින් හිටපු ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වන විට තීරණයක් ගෙන නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කරයි.

”සීඅයිඩීයට ප්‍රමාණවත් සාක්ෂි ඇති විට පමණයි ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයෙකු කැඳවවන්නේ. හිටපු ඇමැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට කැමැත්තෙන් පසුවන බැවින් ප්‍රමාණවත් සාක්ෂි ලබාදීමට තමාටද හැකි බව දන්වා ඇත්තේ නිලධාරීන්ට ඔහුගේ නිවසට පැමිණෙන ලෙස ඉල්ලීමක් කරලා. ඒ අනුව ඔහුගේ නිවසේදී ප්‍රකාශය සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා.”

ඒ අනුව, සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොග ආනයනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් පෙරේදා (26) ඔහුගේ නිවසේදී ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.

ප්‍රමිතියෙන් බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි 22,500ක් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගේ සහාය ඇතිව ව්‍යාජ ලේඛන සාදා ඖෂධ සමාගමක් ආනයනය කර ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පසුගියදා විමර්ශනයක් ආරම්භ විය.

එම ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමෙන් රුපියල් මිලියන 130ක මූල්‍ය වංචාවක් සිදුව ඇති බවද රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එම ඖෂධ සමාගම හිමි සුදත් ජානක ප්‍රනාන්දු හෙවත් ‘අරුණ දීප්ති’ නැමැත්තා ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගය ආනයනය කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන අය ව්‍යාජ අමාත්‍යාංශ ලේඛන ලබාදී ආනයනය කිරීමට සහාය වී ඇති බවද අනාවරණය විය.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේය.

ඒ අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් පස් දෙනකු 2024 ජනවාරි 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර ඇත.

42.31%
17.27%
32.76%