January 4, 2024

පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ සැකකටයුතු මරණ හතක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදී තිබේ.

රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තෙකුගේ ඉගැන්වීම්වලට හසු වූ පුද්ගලයන් තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිලිබඳ අවධානයෙන් සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ජනතාවගෙන් ඉල්ලා ඇත.

ආගමික දේශකයකු වන රුවන් සමඟ සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයන් දෙදෙනකු ද වස පානය කර ජීවිතක්ෂයට පත්ව ඇත.

21 හැවිරිදි තරුණියක සහ 34 හැවිරිදි තරුණයකු වස පානය කර මෙලෙස මියගොස් ඇති බවට සැකකරන බව පොලිසිය සඳහන් කරයි.

අදාළ තරුණියගේ මළ සිරුර යක්කල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන ඇති අතර, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර මහරගම ප්‍රදේශයේ ලැගුම්හලක තිබී සොයාගෙන ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ආගම් පිළිබඳ දේශන පවත්වමින් ප්‍රසිද්ධියක් උසුලන රුවන් ප්‍රසන්න ගුණරත්න පසුගියදා වසපානය කර සියදිවි හානිකර ගත්තේය.

පසුව ඔහුගේ බිරිද සහ දරුවන් තිදෙනා ද මේ ආකාරයෙන්ම මියගොස් සිටියදී හමුවිය.

මියගිය කාන්තාව සහ අනෙක් පුද්ගලයා රුවන්ගේ සහ ඔහුගේ පවුලේ අයගේ අවසන් කටයුතු සඳහා සහභාගී වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව සඳහන් කරන්නේ, අදාළ දේශකවරයාගේ දේශනාවලට හසු වූ පුද්ගලයන් ඛේදජනක ලෙස සිය ජීවිතය අවසන් කර ගෙන ඇති බවයි.

වාර්තා වන පරිදි, මෙම දේශනාවලදී, ඔහු සියදිවි නසාගැනීම ‘සාධාරණීකරණය’ කර ඇති අතර, එය ‘ඊළඟ ආත්මයට’ ඉක්මන් සංක්‍රමණයක් සඳහා මාර්ගයක් බව පවසා තිබේ.

මියගිය දේශකවරයා මසකට රුපියල් 150,000 බැගින් ගෙවා කොට්ටාව ප්‍රදේශයේ මහල් නිවාසයක් කුලියට ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

42.31%
17.27%
32.76%