March 15, 2025

මෙරට සංචාරයක නිරත වී සිටි චීන ජාතික කාන්තාවක් ඉකුත් 09 වැනිදා දුම්රියෙන් ගමන් කරමින් සිටියදී උමගක ගැටී අනතුරට ලක්ව බරපතළ තුවාල ලැබීමෙන් පසු මෙරට චීන තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රමුඛව සංසරණය වන “train hanging” ඡායාරූප ප්‍රවණතාව සඳහා ධාවනය වන දුම්රියකින් පිටතට එබී ඡායාරූපයකට පෙනීසිටිමින් සිටියදී අදාළ කාන්තාව අනතුරට ලක්වී තිබිණි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින්, මෙරට සංචාරයේ නිරත සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ, සමාජ මාධ්‍ය ප්‍රවණතාවලට වඩා ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් සංචාරකයන්ට දැඩි ලෙස උපදෙස් දෙන අතර එවැනි නොසැළකිලිමත් හැසිරීම් නිසා ඇති වන අවදානම්
තත්ත්වයන් පිළිබඳව අනතුරු අඟවා සිටින බව ද පවසයි.

ජනප්‍රිය සමාජ මාධ්‍ය ඡායාරූප ඉරියව්වක් වන “train hanging” අනුකරණය කිරීමට ගොස් එලෙස අනතුරට පත්වී බරපතල තුවාල ලබා තිබුණේ 35 හැවිරිදි චීන සංචාරක කාන්තාවක් ය.

දුම්රිය ධාවනය වෙමින් තිබියදී ඉදල්ගස්හින්න ප්‍රදේශයේදී දුම්රිය උමඟට හිස වැදී ඇය පසුව ඇය දුම්රියෙන් වැටී තිබිණි.

අනතුරින් ඇයගේ හිසට සහ පාදයකට බරපතළ තුවාල සිදුව ඇති අතර තත්ත්වය බරපතළ බව ද වාර්තා විය.