October 22, 2023

මතභේදයට තුඩු දී ඇති පෞද්ගලික බලශක්ති සැපයුම්කරුවකු වන ඇඹිලිපිටියේ ඒස් පවර් (Ace Power)සමාගම වෙතින් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 59.454ක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවෙන් අනාවරණ වී තිබේ.

මෙම රුපියල් බිලියන ගණන වැයකර ඇත්තේ 2016 වසරේ සිට 2021 වසර දක්වා වසර පහක කාලය තුළයි.

ඇඹිලිපිටියේ ඒස් පවර් සමාගම වෙතින් විදුලිය මිලදී ගැනීම සම්බන්ධ මෙම හෙළිදරව් කරන ලද වියදමට පොලී මුදල් ද ඇතුළත් වේ.

2018-2027 දක්වා කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්මේ දක්වා ඇති රුපියල් බිලියන 183.642ක් වන ඇස්තමේන්තුගත මුදලින් ඇඹිලිපිටියේ ඒස් පවර් සමාගමට ගෙවා ඇති මුදල 32%කට ආසන්න වීම හේතුවෙන් එය මතභේදයට තුඩු දී තිබේ.

2018-2027 කාල රාමුව සඳහා මෙම සැළකිව යුතු මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ සම්ප්‍රේෂණ පද්ධතියේ ව්‍යාප්තිය සහ වැඩිදියුණු කිරීම සඳහාය.

දුර්වල සම්ප්‍රේෂණ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් සෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට අරගල කරමින් සිටී.

2016 අප්‍රේල් 11 වන විට විදුලි අර්බුදය සඳහා හඳුනාගත් ස්ථිර විසඳුම ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය අපොහොසත් වීමත් සමඟ, කෙටි කාලීන බලාගාර මත පදනම්ව පද්ධතියේ ස්ථායිතාව වැඩිදියුණු කළ හැකි ආකාරය පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

විදුලි බලාගාරය කෙටි කාලීනව ස්ථාපිත කර තිබුණද පද්ධතිය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබූ බව විගණන වාර්තාවෙන් අනාවරණ වේ.

ඒ අනුව පවතින විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව සම්ප්‍රේෂණ පද්ධතියේ අසමතුලිතතාව බවත් අතිරේක විදුලි උත්පාදනය තාවකාලික විසඳුමක් බවත් නිරීක්ෂණය වීතිබිණි.

2016 මාර්තු 22 වැනි දින ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ ‘අනාගතයේ ඇති වියහැකි නියඟයට මුහුණ දීම සඳහා උපස්ථ බල ධාරිතාවක් පවත්වා ගැනීම’ යන මැයෙන් යුත් ඇමැති මණ්ඩල සංදේශය මගින් ද මෙය සනාථ වෙයි.

දීර්ඝ කාලීන විදුලි ජනන ඉලක්ක සපුරා ගැනීමට විදුලිබල මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන් ඇඹිලිපිටියේ ඒස් පවර් සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට වසර 10ක ගිවිසුමකට එළැඹී ඇති බව විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

එම බලාගාරය මිලදී ගැනීමට අඇමැති මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුවද 2016 අප්‍රේල් 6 සිට 2022 සැප්තැම්බර් 8 දක්වා කාලය තුළ ගිවිසුම වසර පහකුත් මාස හයක් සඳහා අවස්ථා හතරකදී දීර්ඝ කර තිබිණි.

රජයේ තක්සේරුකරුගේ තක්සේරුව සහ හිමිකරුගේ විකුණුම් මිල අතර ඇති නොගැළපීම් හේතුවෙන් මිලදී ගැනීම සිදුවී නොතිබිණි.

වාර්තාවට අනුව රජයේ තක්සේරුකරු විසින් බලාගාරයේ තක්සේරුව ලෙස සඳහන්කර තිබුණේ රු.මිලියන 2,370 කි.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර කමිටුව ,සමාගම් හිමිකරුවන් සමඟ ධාරිතා ගාස්තු අඩු කිරීම සඳහා සාකච්ඡා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වසර පහ සඳහා ඩොලර් 1,561,122ක ප්‍රතිලාභයක් ලැබිණි.

කෙසේ වෙතත්, එම පස් අවුරුදු කාලය සඳහා ධාරිතා ගාස්තු ලෙස ඩොලර් 29,085,134ක් ගෙවා ඇත.

මෙම මුදලින් සැළකිව යුතු කොටසක්, එනම් ඩොලර් 21,701,362ක් ගෙවා ඇත්තේ, ධාරිතා ගාස්තුවල වැඩි කළ නොහැකි කොටස , එනම් මූලික වශයෙන් කොටස් ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභ සඳහාය.

වාර්තාවෙන් හෙළිදරව් වන්නේ බලාගාර හිමියන් විසින් බලාගාරය විකිණීම සඳහා මුලින් ඉදිරිපත් කළ ඩොලර් 17,000,000 ලංසුවෙන් 127.7% ක් මෙම මුදල නියෝජනය කරන බවයි.

එවන් පසුබිමක පාඩු ලබන බව කියනවිදුලිබල මණ්ඩලය, දකුණු පළාතේ විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා නැවත වරක් එම බලාගාරයෙන්ම අධික මිලකට විදුලිය මිලදී ගැනීමට මීට මාස කිහිපයකට පෙර කටයුතු කර ඇත.

ඒ අනුව, ක්ෂණික විදුලි සැපයුම් පරතරය පියවා ගැනීම සඳහා, විදුලිබල මණ්ඩලය විසින් දැනටමත්ඒස් පවර් සමාගමේ ඇඹිලිපිටිය බලාගාරයෙන් මෙගාවොට් 100ක් සහ මාතර බලාගාරයෙන් මෙගාවොට් 20ක් හදිසි විදුලිය මිලදීගැනීම් ලෙස ලබාගෙන ඇත.

බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදය හේතුවෙන් පෞද්ගලික සමාගම්වලින් විදුලිය මිලදී ගැනීමට මණ්ඩලයට සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් ද පිළිගෙන තිබේ.

විදුලිබල මණ්ඩලය පරිපූරක විදුලිය මිලදී ගැනීම මුලදී ප්‍රමාද කළ අතර විදුලි ජනන යන්ත්‍ර භාවිත කරමින් දකුණු කලාපයේ විදුලි අවශ්‍යතා කළමනාකරණය කරමින් සිටි බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

කෙසේ වෙතත්, හදිසි තත්ත්වයක් මත හදිසි මිලදී ගැනීමක් අවශ්‍ය වූ බව ඔහු පවසයි.

විදුලිබල මණ්ඩලය වියදම් අඩු කිරීමට සක්‍රීයව කටයුතු කරන අතරම ජාතියට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සිය ප්‍රමුඛතාවය ලෙස සහතික කරන බව ද විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%