January 3, 2024

මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා ආයතනයක් වන ලංකා බැංකුව, එක්සත් රාජධානියේ කීර්තිමත් The Banker සඟරාව විසින් ‘ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව’ ලෙස නම්කර තිබේ.

නව වසර ආරම්භයේදී පැවති උත්සවයකදී සියලුම පාර්ශ්වකරුවන් සහ හිතවත් පාරිභෝගිකයන් වෙත ඔවුන් මෙම නිවේදනය නිකුත් කරන ලදී.

මූල්‍ය සේවා කර්මාන්තයට සහ ආර්ථිකයට අස්ථාවර වසරක් පැවැති අවස්ථාවක පිරිනැමුණු මෙම සම්මානය මගින් ප්‍රධාන දර්ශක හරහා බැංකුවේ විශිෂ්ට කාර්ය සාධනය හඳුනාගෙන ඇති අතර, රාජ්‍ය බැංකුවක් ලෙස මෙන්ම ‘ජාතියට බැංකුකරුවකු’ ලෙස ලංකා බැංකුවේ ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරය ඉස්මතු කර තිබේ.

සඟරාව විසින් අඛණ්ඩව 12 වැනි වරටත් නම් කරන ලද ලොව හොඳම බැංකු 1000 අතරට ලංකා බැංකුව ද ඇතුළත්වන අතර, 2023 සඳහා ලැයිස්තුගත කළ එකම ශ්‍රී ලාංකික බැංකුව ද වේ.

සැළකිව යුතු කරුණක් නම්, බැංකුව සිය ශේෂ පත්‍රයේ සමස්ත වර්ධනයක් පෙන්නුම් කරමින් පාරිභෝගික විශ්වාසය තවදුරටත් ඉස්මතු කර දැක්වීමයි.

බැංකුකරණයේ විප්ලවීය වෙනසක් ඇතිකිරීමට සහ ගනුදෙනුකරුවන්ගේ සතුට වැඩිකිරීමට බැංකුවේ තිරසාර කැපවීම ද මෙම ප්‍රතිඵලවලින් පිළිබිඹු වන බව ඔවුන්ගේ අදහස වී තිබේ.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා “මෙම කීර්තිමත් පිළිගැනීම පිළිබඳ මම නිහතමානීව හා බෙහෙවින් ස්තූතිවන්ත වන අතර, මෙම වසර පුරා ලංකා බැංකුව කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් අපගේ සියලුම ගනුදෙනුකරුවන්ට සහ වටිනා හවුල්කරුවන්ට අවංකවම ස්තූති කිරීමට කැමතියි. අපගේ ජාතික ප්‍රමුඛතා සහ ප්‍රජාවට දායකවීමට අප විශ්වාස කරන පරිදි අපගේ උපාය මාර්ගික ඉලක්ක ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වනවා. අපගේ සවිඥානික තේරීම්, තිරසාරත්වය ඇති ව්‍යාපාරික ආකෘතිය පිළිබිඹු කරනවා, එමඟින් වගකිවයුතු ආයතනික පුරවැසියකු ලෙස සමාජයට සහ පරිසරයට අර්ථවත්, ධනාත්මක බලපෑමක් ඇති කරනවා.” යනුවෙන් පැවසීය.

The Banker විසින් ලැයිස්තුගත කිරීම පිරිනැමීම, පාරිභෝගික අත්දැකීම් හා සේවා මෙන්ම තාක්‍ෂණිකව මෙහෙයවන නිෂ්පාදනවල නවෝත්පාදන සහ සංවර්ධනය ඇතුළු උපායමාර්ගික සහ ප්‍රධාන ක්ෂේත්‍රවල ලංකා බැංකුවේ කාර්යසාධනය ඇගයීමේ සම්මාන සහ පිළිගැනීම් මාලාවක නවතම පියවරයි.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුකූලව, පාරිසරික තිරසාර උත්සාහයන් සහ තිරසාර භාවිතයන් සඳහා නායකත්වය දීම පිළිබඳ ලංකා බැංකුවේ ප්‍රවේශය, ශ්‍රී ලංකා හරිත ගොඩනැඟිලි කවුන්සිලය විසින් මෑත කාලීන සම්මාන තුනකින් පිළිගනු ලැබීය.

මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලද ලංකා බැංකුවේ පැරණිතම ශාඛාව වන කොළඹ කොටුවේ පිහිටි ලංකා බැංකුවේ නගර කාර්යාලය හරිත කාර්යක්ෂමතාව ප්‍රශස්ත කිරීම සඳහා වන රිදී සම්මානය දිනාගත් අතර, ලංකා බැංකුව අඛණ්ඩව දෙවැනි වසරටත් බැංකු අංශයේ “වසරේ හරිත ව්‍යාපාර නායකත්ව සම්මානය ” සහ ‘2023 වසරේ හරිත කැපවීමේ විශිෂ්ටත්වය’ සඳහා වන සම්මානය ලබාගත්තේය.

‘ඔරොත්තුදීමට හැකි විසඳුම් පිළිබඳ සමාලෝචනය’ යන තේමාව යටතේ ඉදිරිපත් කෙරුණු බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව CA Sri Lanka විසින් මෑතකදී සංවිධාන කළ TAGS සම්මාන 2023හිදී රන් සම්මානයෙන් ද ඇගයීමට ලක්විය.