March 13, 2024

නාරම්මල පොලිසිය විසින් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

නාරම්මල පොලිසියේ වෙඩි තැබීමෙන් මියගිය වඩු කාර්මිකයාගේ වැන්දඹු බිරිඳ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විනිසුරු විජිත් මලල්ගොඩ ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශාමින්ද වික්‍රම මේ බව දැනුම්දුන්නේය.

මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිපතිවරයා හෝ පෞද්ගලික නීතිඥවරයකු පෙනී සිටියේ නැත.

නඩුව අප්‍රේල් 4 වැනි දින යළි කැඳවීමට නියම කරන ලදී.

රාජකාරි නිමවී නිවස බලා එමින් සිටි රොෂාන් කුමාරසිරිට උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන විසින් සිවිල් ඇඳුමින් පෙනී සිටිමින් වෙඩි තබා ඝාතනය කර තිබිණි

සිය මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රයෙන් පෙත්සම්කාරිය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා සිටියි.

පෙත්සම්කාර කමනි රූපිකා ප්‍රියංගනී කියා සිටියේ මියගිය රොෂාන් කුමාරසිරි සමඟ 2007 වසරේ තමා විවාහ වූ බවත් ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත්ය.

වැඩිමහල් දැරියන් දෙදෙනා දැනට වයස අවුරුදු 16ක් වන නිවුන් දැරියන් බවත් ඔවුන් අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා මේ වසරේ පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඇය පැවසුවාය.

පෙත්සම්කරු පවසන්නේ බාල දරුවා වයස අවුරුදු අටක පුතකු වන අතර ඔහු පාසලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි.

පළමු සහ දෙවැනි වගඋත්තරකරුවන් වන උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන සහ පොලිස් කොස්තාපල් චමුදිත බණ්ඩාර කුලසේකර යන අය පිළිවෙළින් පරම බලතල තමන් වෙත පවරා ගනිමින් අත්තනෝමතික ලෙස බලතල අයුතු ලෙස භාවිත කර ඇති බව පෙත්සම්කාරිය සඳහන් කර තිබේ.

‘යුක්තිය’ ක්‍රියාන්විතයේදී අදාළ නීති සහ කාර්ය පටිපාටික මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පළමු සහ දෙවැනි වගඋත්තරකරුවන්ට රාජකාරියේ යෙදීමට නාරම්මල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ රජය අවසර දී ඇති බව පෙත්සම්කාරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සිද්ධියෙන් පසු වැඩබලන පොලිස්පති තෙන්නකෝන් ද සිය නිවසට පැමිණ රුපියල් මිලියනයක චෙක්පතක් ලබාදුන් බව පෙත්සම්කාරිය කියා සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති තම සැමියාගේ මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන් සහ රජය විසින් උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කාරිය මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

42.31%
17.27%
32.76%