42.31%
17.27%
32.76%
October 5, 2023

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වැඩබලන නිර්වින්දන වෛද්‍යවරියක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට මුදාහරින ලෙස යැවූ ලිපිය පිළිනොගැනීම හේතුවෙන් මාස 02කට ආසන්න කාලයක් නිර්වින්දන වෛද්‍යවරයකු නොමැතිව රෝගී සත්කාර සේවා පවත්වා ගෙන යන හම්බන්තොට රෝහල තවදුරටත් පීඩාවට පත්ව ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් රාගම ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය පී.ඒ. ලියනගේ රණවීර වෙත 2023 සැප්තැම්බර් 25 දිනැති ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ, එච්.පී.ඒ. මදුවන්ති නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය ඉක්මණින් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට යොමුකරන ලෙසයි.

එම ලිපිය හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකරට පිටපත් කර යවා ඇති අතර, ඔහු වෛද්‍ය රණවීරට ලිපියක් යවා ඉල්ලා ඇත්තේ අදාළ නිර්වින්දන වෛද්‍යවරිය හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට මුදාහැරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරිය කිසිදු දැනුම්දීමකින් තොරව රටින් පිටව යෑමත් සමග, නිර්වින්දන වෛද්‍යවරයකු නොමැතිව එම රෝහල දුෂ්කරතා රැසක් මධ්‍යයේ රෝගී සත්කාර සේවා පවත්වාගෙන යන බව ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.

එම ලිපියට ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය රණවීර, වෛද්‍ය උබේසේකර වෙත ලිපියක් මගින් දන්වා ඇත්තේ, නිර්වින්දන වෛද්‍ය මධුවන්ති හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්ත කිරීම සඳහා රාගම ශික්ෂණ රෝහලෙන් මුදාහැර ඇති බවයි.

වෛද්‍ය මධුවන්ති, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් , වෛද්‍ය සේවා සහ අධ්‍යක්ෂ , තෘතීයික සත්කාර සේවා ඇතුළු පාර්ශව කිහිපයකට එම ලිපියේ පිටපත් යවා ඇති බව ද සදහන් වේ.

ස්ථාන මාරුවක් ලබන වෛද්‍ය නිලධාරියෙකු පැය 48ක් ඇතුළත නව සේවා ස්ථානයට වාර්තා කළ යුතු නමුත් ඊයේ සවස් වන විටත් වෛද්‍ය මධුවන්ති අදාළ ලිපිය භාරගෙන නොමැති බව රාගම ශික්ෂණ රෝහලේ උසස් නිලධාරියෙක් පවසා ඇත.

වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ, “රෝහල් පරිපාලනයේ පැත්තෙන්, මේ සම්බන්ධයෙන් කළ යුතු වැඩ කටයුතු දැනටමත් සිදු කර ඇත. නමුත් අද දක්වා ඇය අදාළ ලිපිය භාරගෙන නැත. අදත් ඇය රාගම රෝහලේ සේවයට වාර්තා කර ඇති බව මට දැනගන්නට ලැබිණි. සේවයෙන් නිදහස් වූ පසු ඇයට මෙම රෝහලේ සේවය කිරීමට හැකියාවක් නැත.” ලෙසයි.

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් පිරිසක් සිටින පසුබිමක කිසිදු නිර්වින්දන වෛද්‍යවරයකු නොමැති හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ රාජකාරියට අදාළ වැඩබලන උපදේශක නිර්වින්දන වෛද්‍යවරිය නොපැමිණීම පිළිගත නොහැකි බවද ඔහු පවසා තිබේ.

වෛද්‍ය මධුවන්ති අඟහරුවාදා සිට රාගම ශික්ෂණ රෝහලේ වැටුප් ලේඛනයේ නොසිටින බවත්, අදාළ දින සිට ඇය හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ සේවයට වාර්තා නොකරන්නේ නම් ඒ පිළිබඳව සළකා බැලීමට හම්බන්තොට රෝහලට හැකියාව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

42.31%
17.27%
32.76%