February 1, 2024

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව නීතිපති ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම් විසින් ප්‍රකාශ කර ඇති බැවින් පනත් කෙටුම්පත අනුමත කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ,පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම වැනි අක්‍රමිකතා ගණනාවක් මධ්‍යයේ අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීමේ ක්‍රියාවලිය සිදු වූ බව පවසමින්,එම පනත් කෙටුම්පත අනුමත නොකරන ලෙස විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව කිහිපයක් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

සිවිල් සමාජ සංවිධාන, දේශීය හා අන්තර්ජාතික ඩිජිටල් කර්මාන්තයට සම්බන්ධ ආයතන සහ කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සහ එය රජය විසින් ගෙන එනු ලැබු ආකාරය විවේචනය කර ඇත.

කෙසේවෙතත් කථානායක අබේවර්ධන කියා සිටියේ විවිධ පුද්ගලයන්ගේ අදහස් අනුව තමන්ට කටයුතු කළ නොහැකි බවයි.

“ඔවුන්ගේ මතයට අනුව මට වැඩ කරන්න බැහැ. නීතිපතිවරයාගේ මතය අනුව තමයි මම වැඩ කළ යුත්තේ. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව නීතිපතිවරයා පවසන්නේ නම් එය අනුමත කිරීම හැර මට විකල්පයක් නැහැ. යමෙකුගේ මතය ඇති පමණින් මට ඔවුන්ට අවශ්‍ය පරිදි වැඩ කළ නොහැකියි” යනුවෙන් ඔහු කියා සිටියේය.

ඔන්ලයින් අන්තර්ගතය නියාමනය කිරීමට උත්සාහ කරන අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් දේශීය හා අන්තර්ජාතික ප්‍රජාවේ බොහෝ විවේචන මධ්‍යයේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් විසින් ජනවාරි 23 වැනි දින කෙටුම්පත විවාදයට ගන්නා ලදී.

නව නීතිය භාෂණයේ නිදහසට බාධා කරන බවට චෝදනා කළ විපක්ෂ දේශපාලනඥයන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ විරෝධතා මධ්‍යයේ එය සංශෝධන සහිතව සහ බහුතර ඡන්දයෙන් ජනවාරි 24 දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පනත් කෙටුම්පත පිළිබඳ දෙදින විවාදය අවසානයේ ඡන්දය විමසන විට ඊට පක්ෂව මන්ත්‍රීවරුන් 108 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර විපක්ෂව ඡන්ද 62ක් ලැබී තිබිණි.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසුව, විපක්‍ෂයේ දේශපාලනඥයන් කිහිප දෙනෙක් අදහස් දක්වමින් සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පටහැනිව පනත් කෙටුම්පත සම්මත කර ඇති නිසා කථානායකවරයා එය අනුමත නොකළ යුතු බවයි.

මෙම පනත් කෙටුම්පත අනුමත කිරීමට කථානායකවරයාට අයිතියක් නොමැති බවත්, කථානායකවරයා එසේ කළහොත් එය හිතාමතාම ඔහුගේ වගකීම පැහැර හැරීමක් බවත් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් සඳහන් කළේය.

මාධ්‍ය සංවිධාන, සිවිල් සමාජය සහ වෘත්තීය සමිති එකමුතුව ද කථානායක අබේවර්ධන වෙත ලිඛිතව දන්වමින් ඉල්ලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එවන ලද නියෝග සහ මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම එයට ඇතුළත් කර ඇති බවට සෑහීමකට පත්වන තුරු අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත අනුමත නොකරන ලෙසයි.

42.31%
17.27%
32.76%