February 3, 2025

පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් ස්ථාන වෙත පැමිණෙන පාර්ශ්වයන්ගේ පැමිණිලි භාරනොගෙන ප්‍රතික්ෂේප කළ බවට වාර්තා වුවහොත් ඊට අදාළ වගකිව යුතු නිලධාරියාට සහ මූලස්ථාන පොලිස් පරීක්‍ෂකට හෝ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග හා නීති ක්‍රියාමාර්ග ගන්නා බවවැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

පෙරේදා (01දා) සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ එම චක්‍රලේඛය මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරි, කොට්ඨාස භාර නිලධාරි / අධ්‍යක්‍ෂ, දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදන නිලධාරීන්, මු.පො.ප. / ස්ථානාධිපතිවරුන් දැනුවත් කරමින්, තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ 82 (අ) ප්‍රතිපාදන අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව
පවතින බවයි.

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පාර්ශ්වයන්ගේ පැමිණිලි වාර්තා නොකර නොයෙකුත් කරුණු ඉදිරිපත් කරමින් එකී පැමිණිලි භාරගැනීම ප්‍රතික්‍ෂේප කරනු ලබන බවට තමා වෙත ලිඛිත හා වාචික පැමිණිලි ලැබෙමින් පවතින බවත්, එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස පොලිස් ස්ථානභාර නිලධාරීන් හා සෙසු නිලධරයන් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන බවටද වැඩබලන පොලිස්පතිවරයා කියාසිටී.

ඒ අතර, සිවිල් ආරවුලක් බැවින් පැමිණිලි වාර්තාගත කළ නොහැකි බව, අපරාධය හෝ සිද්ධිය වාර්තා වී ඇත්තේ තම පොලිස් බල ප්‍රදේශය නොවන බව, පැමිණිල්ලට අදාළ වගකිව යුතු පාර්ශ්වකරුවන් පොලිසියට කැඳවීමට බලයක් නොමැති බව, පැමිණිල්ලට අදාළ පාර්ශ්වකරුවන් තම පොලිස් බල ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවන් නොවන බව පවසමින් උසස් පොලිස් නිලධරයන් විසින් මෙවැනි පැමිණිලි භාරගැනීම නොකළ යුතු බවට උපදෙස් ලබාදී ඇති බව සඳහන් වන බවද හෙතෙම කියාසිටී.

ඒ අනුව, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 වගන්තියේ පැහැදිලිව වරදක් පිළිබඳ තොරතුරු, තැනැත්තන් විසින් ලබාදීම සහ ඒවා සටහන් කර ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් කාර්ය පටිපාටිය ඉතා පැහැදිලිව සඳහන් කර ඇති බවත් එනම්, 109 (1) වරදක් සිදු කිරීම පිළිබඳව සෑම තොරතුරක්ම පොලිස් නිලධරයකු වෙත වාචිකව හෝ ලියවිල්ලකින් දෙනු ලැබිය හැකිය.

එසේ ලබාදෙනු ලබන තොරතුරු ඉහත කී පනතේ 109 (3) උප වගන්තියට අනුව අදාළ තොරතුර තොරතුරු සටහන් පොතේ අප්‍රමාදව ඇතුළත් කළ යුතු බව සඳහන් වේ.

එකී තොරතුර ලද නිලධාරියා ස්ථානභාර නිලධාරියා නොවන්නේ නම්, අදාළ තොරතුරු වහාම පොලිස් ස්ථානභාර නිලධාරියා වෙත වාර්තා කිරීම අදාළ පොලිස් ස්ථානයට අනුයුක්ත අනෙක් නිලධාරීන්ගේ වගකීම වේ.

එසේම, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 107 (1) උප වගන්තිය කෙරෙහි ඔබගේ අවධානය යොමුකරවමින් ”යම් සංඥය වරදක් සිදුකිරීම වැළැක්වීමේ කාර්ය සඳහා සෑම සාම නිලධාරියකු විසින්ම මැදිහත් වී ක්‍රියා කළයුතු අතර ඔහු විසින් එය තමාගේ උපරිම හැකියාව යොදවා වැළැක්විය යුතුය.”
සඳහන් පහත කරුණු කෙරෙහි වැඩිදුරටත් ඔබගේ අවධානය එපමණක් ද නොව, පොලිස් ආඥා පනතේ 56 වගන්තියේ යොමුකරවමින් සියලුම අපරාධ, වැරදි සහ පොදු හිරිහැර වැළැක්වීමට තමාගේ සම්පූර්ණ ධෛර්ය හා ශක්තිය යෙදවීම, සාමය ආරක්ෂා කිරීම, පොදු සාමය සම්බන්ධයෙන් ආරංචි එක්රැස් කිරීම හා ඒවා දැන්වීම කළ යුතුය.(දිවයින)

42.31%
17.27%
32.76%