June 20, 2024

චීනයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් තරුෂි කරුණාරත්න ස්පාඤ්ඤයේ පැවැත්වෙන Bilbao අන්තර්ජාතික ආරාධිත ජවන හා පිටිය මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 600 ඉසව්වෙන් ආසියානු මහාද්වීපික වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

කරුණාරත්න ප්‍රථම වරට කාන්තා මීටර් 600 ඉසව්වකට සහභාගි වෙමින් විනාඩි 1:24.84කින් මෙම ඉසව්වේ දෙවැනි ස්ථානයට පත්විය.

2024 වසරේ ප්‍රංශයේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් මෙම තරගාවලිය පැවැත්විණි.

මීට පෙර කාන්තා මීටර් 600 කාන්තා ආසියානු මහද්වීපික වාර්තාව විනාඩි 1:28.06කින් 2022 දී තරගය නිමාකළ ජපානයේ අයනෝ ෂෝමි සතුව තිබිණි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ බෙන්ඩර් ඔබෝයා විනාඩි 1:24.53ක කාලයක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනාගත් අතර විනාඩි 1:25.34ක් වාර්තා කළ බ්‍රසීලයේ මරියා ද ලීමා තෙවැනි ස්ථානයට පත් වූවාය.

පිරිමි මීටර් 400 ඉසව්වට සහභාගි වූ කාලිංග කුමාරගේට තත්පර 45.91කින් තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාතික තරග හතකට සහභාගි වීමේ අවස්ථාව හිමි වූ නමුත් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයකු මෙතෙක් සුදුසුකම් ලබා නොමැත.

IAAF ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වලට අනුව දිල්හානි ලේකම්ගේ (කාන්තා හෙල්ල විසිකිරීම) 30 වැනි ස්ථානයටත්, තරුෂි කරුණාරත්න (කාන්තා මීටර් 800) 45 වැනි ස්ථානයටත්, කාලිංග කුමාරගේ (පිරිමි මීටර් 400) 53 වැනි ස්ථානයටත්, අරුණ දර්ශන (මීටර් 400) 54 වැනි ස්ථානයටත් පත්ව ඇත.

පැරිස් ඔලිම්පික් මලල ක්‍රීඩා සුදුසුකම් සඳහා අවසන් දිනය ජුනි 30 වේ.

102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය (ජුනි 27 සිට 29 දක්වා) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මලල ක්‍රීඩා විශේෂ තරගය (ජුනි 30) මෙරට ප්‍රභූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ප්‍රමිතියට ළඟා වීමේ අවසන් අවස්ථාව වේ.

එය දකුණු ආසියාවේ වේගවත්ම කෙටි දුර ධාවන ක්‍රීඩකයා සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම්ලාභී යුපුන් අබේකෝන් හට ලැබෙන අවසන් අවස්ථාව ද වනු ඇත.