52%
16.8%
23.9%
August 26, 2024

තණමල්විල අධ්‍යාපන කලාපයට අයත් කතරගම ගෝතමීගම කනිෂ්ඨ විද්‍යාලයේ අටවැනි වසර ඉගෙනුම ලබන පිරිමි ළමුන් දෙදෙනකු එම විදුහලේ විදුහල්පතිවරයා විසින් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කරන ලද බවට වූ පැමිණිල්ලක් මත ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් 23 වැනි දින තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණ වූ විදුහල්පතිවරයා අනිද්දා (28දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා නියෝග කෙළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ කතරගම නව නගරයේ පදිංචි 50 හැවිරිදි අවිවාහකයෙකි.

පසුගිය වසරේ සිට මාස කිහිපයක් තිස්සේ අවුරුදු 13 සහ 14 වයස් මට්ටමේ මෙම ළමුන් දෙදෙනා පාසල් කාලයෙන් බැහැරව අමතර අධ්‍යයන කටයුතු සඳහා පාසල වෙත ගෙන්වා බරපතළ අයුරින් අපයෝජනය කර ඇති බවට අදාළ ළමුන් දෙදෙනා ළමා ආරක්ෂක නිලධාර්න් වෙත ප්‍රකාශයක් ලබාදී තිබිණැයි කතරගම පොලිසිය කියයි.

මෙම ළමුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇති අතර මූලික පරීක්ෂණවලින් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කතරගම දිසා රෝහල වෙත යොමුකොට ඇතැයි උසස් පොලිස් නිලධායෙක් පැවැසීය.

මෙම ළමුන් දෙදෙනාට අමතරව අපයෝජන සිද්ධීන්වලට ලක්වී පාසල අතහැර ගොස් සිටින ළමුන් සහ ලජ්ජාවට සිද්ධීන් යටපත් කරගෙන සිටින ළමුන් කිහිපදෙනකු සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති නිසා ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු පවත්වන බව ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියෙක් පැවැසීය.(මව්බිම)

52%
16.8%
23.9%