February 4, 2025

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනාට අදාළව සිදුකරනු ලබන බදු ගැටළු සම්බන්ධ විමර්ශනවලට අදාළ ප්‍රගති වර්තාවක් ලබන ජූනි මස 31 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඊයේ (3) නියෝග කළාය.

දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව ඉහත සඳහන් දෙදෙනා බදු පනතට අදාළ වරදවල් සිදුකර තිබේද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් ඊයේ නැවත කැඳවූ අවස්ථාවේදී අධිකරණයෙන් එසේ නියම කෙරිණි.

මෙම සිද්ධියට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉහත සඳහන් දෙදෙනාගේ නිවාස සෝදිසි කිරීමට අධිකරණය මඟින් නියෝගයක් ලබාගත් නමුත් එසේ සෝදිසි කිරීම් කටයුතුවල නිරතවන අවස්ථාවේදී එම දෙදෙනා නිවාසවල නොසිටි බව ද, සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිනේෂ් පෙරේරා පෙර නඩු වාරයේදී අධිකරණයට දන්වා තිබිණි.

42.31%
17.27%
32.76%