August 25, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූවද තමන් කිසිඳු ජනාධිපති අපේක්ෂකයකුට සහාය දැක්වීම පිළිබඳ තවමත් තීරණය කර නොමැති බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ පවසයි.

කෙසේවෙතත් ඇය සඳහන් කර ඇත්තේ තමන්ට තවදුරටත් සමගි ජන බලවේගයේ රැඳී සිටිය නොහැකි බවයි.

තමන් ඉල්ලා අස්වීමට තෝරා ගැනීම සඳහා බොහෝ හේතු තිබූ බවත් මේ වන විට මැතිවරණ ව්‍යාපාරයක් මැද සිටින බැවින් තමන්ට වැඩි යමක් කීමට අවශ්‍ය නොවන බවත් ඇය සඳහන් කර තිබේ.

“සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අපි මොනවා කිව්වත් අහන්නේ නැහැ, අපිව අගය කළේ නැහැ කියන හැඟීම මට මුල ඉඳලම තිබුණා. පක්ෂයට නිසි සැලසුමක් නැහැ. ඊට අමතරව මගේ දිස්ත්‍රික්කය සම්බන්ධ යම් යම් ගැටලු තිබුණා.” යනුවෙන් තලතා අතුකෝරළ සම්මුඛ සාකඡාවකදී පවසා තිබේ.

පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු හිටපු මන්ත්‍රීවරිය රත්නපුරයට ගොස් ඇයගේ ආධාරකරුවන් සමඟ කතා කර සිය තීරණය පිළිබඳ ඔවුන්ගේ අදහස් දැන ගැනීමට බලාපොරොත්තු වේ.

ඇය ඉල්ලා අස්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වනු ඇති බවට කටකතා පැතිර ගියේය.

“මම කවදාවත් පක්‍ෂය කැඩීමට කැමති වුණේ නැහැ, නමුත් වික්‍රමසිංහට ඉතා හිතවත් අය අයින් වෙන්න පටන් ගත්තම මමත් ඒ අයට එකතු වුණා. පක්‍ෂය දෙකඩ වීම සම්බන්ධයෙන් වික්‍රමසිංහටත් යම් වගකීමක් දැරීමට සිදු වෙනවා.” යනුවෙන් ඇය පවසා තිබේ.

තමන් සමගි ජන බලවේගය හා සම්බන්ධ වුවද සෑම විටම වික්‍රමසිංහ සමඟ සුහද සබඳතාවක් පවත්වාගෙන ගිය බවත් වසර 50කට ආසන්න කාලයක් ඔහුව හඳුනන බවත් ඇය පවසා ඇත.

තලතා අතුකෝරළ පවසන්නේ සහාය දිය යුත්තේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය කිරීමට තමාට මාසයක පමණ කාලයක් ඇති බවයි.

ඉල්ලා අස්වීමෙන් පසු තමන්ට එල්ල වන විවේචනවලින් තමන් පසුබට නොවන බවද ඇය පවසා තිබේ.

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සමුළුව සඳහා තමන්ට ආරාධනාවක් ලැබී ඇති නමුත් ඉදිරියේදී තමන් කුමක් කරන්නේද යන්න පිළිබඳ තීරණයක් නොමැති බව ද ඇය සඳහන් කර තිබේ.