January 29, 2024

තායිලන්ත අගමැති ශ්‍රෙත්ත තාවිසින් පෙබරවාරි 03 සිට 04 දක්වා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙනු ඇති අතර, එහිදී ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (SLTFTA) අත්සන් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව අගමැතිවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකාවට වසර 76ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් ද ඔහු සහභාගී වීමට නියමිතය.

නිදහස් වෙළඳ ගිවිසුමට තායිලන්ත නියෝජ්‍ය අගමැති සහ වාණිජ ඇමැති පුම්තම් වෙචයාචායි සහ මෙරට වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු අත්සන් කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම නිදහස් වෙළඳ ගිවිසුම දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ඉහළ නංවා ගැනීමටත්, ආසියාන් ආර්ථිකයන් සමඟ ගැඹුරු ඒකාග්‍රතාව ප්‍රවර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ.

මීට අමතරව, දෙපාර්ශවය ගුවන් සේවා ගිවිසුම අලුත් කිරීමටත්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය සහ තායිලන්තයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අවසන් කිරීමටත් අපේක්ෂා කෙරේ.

42.31%
17.27%
32.76%