October 15, 2024

වයස අවුරුදු පහට අඩු දරුවන් 10,323 දෙනකු උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව පෝෂණ මාසය නිමිත්තෙන් 2024 වර්ෂයට අදාළව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මඟින් නිකුත් කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 994කි.

උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන දරුවන් 930ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද 629ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද 622ක් නුවර දිස්ත්‍රික්කයෙන්ද 619ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් 25,269 දෙනකු මන්දපෝෂණ ඌනතාවයෙන් පෙළෙන බවද මෙකී වාර්තාවේ සඳහන් වේ.

මන්දපෝෂණ ඌනතාවයෙන් පෙළෙන අවුරුදු පහට අඩු දරුවන් 2,550 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ළමයින් සංඛ්‍යාව 2,245කි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ළමයින් 1,578 දෙනකු, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ළමයින් 1,340 දෙනකු වාර්තා වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම මෙරට අවුරුදු පහට අඩු වයසට සරිලනලෙස බර අඩු දරුවන් 215,386 දෙනකු වාර්තා වී ඇති අතර මින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 17,701කි.

වයසට සරිලන බර අඩු දරුවන් අතර 15,994ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද 15,376ක් මහනුවර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී ඇත.

එමෙන්ම මෙරට අවුරුදු 05ට අඩු වයසට සරිලන ලෙස උස අඩු දරුවන් 133,538 දෙනකු වාර්තා වී ඇති බැව් පවුල් සෞඛ්‍ය කාර්යාංශය මඟින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

මින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ළමයින් සංඛ්‍යාව 11,677කි.

වයසට සරිලන උස අඩු දරුවන් 10,177 දෙනකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර නුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ළමයින් සංඛ්‍යාව 10,093 දෙනෙකි. එමෙන්ම අවුරුදු පහට අඩු අධිබර දරුවන් 6,223 දෙනකු වාර්තා වී ඇත.(මව්බිම)

42.31%
17.27%
32.76%