September 2, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 167 දෙනකු සහ නාවිකයන් දසදහස් දෙදෙනකු (10,002) පසුගිය වසර පහක කාලයේදී (2019 – 2023) සේවය හැරගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ‘ලංකාදීපය’ හෙළිකරයි.

එම තත්වය අවම කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ද එහි දැක්වේ.

මේ අතරේ නාවික හමුදාවට 2019 සිට 2023 දක්වා කාලයේ දී නිලධාරීන් 537ක් සහ නාවිකයන් 17,734 ක් බඳවා ගනිද්දී, විශ්‍රාම හා සේවය හැරගිය සංඛ්‍යාව පිළිවෙළින් 580ක් සහ 17,734ක් වී තිබූ බව පවසන එම වාර්තාව, නාවික හමුදාවෙන් ඉවත්ව යන සංඛ්‍යාවට සාපේක්ෂව බඳවා ගන්නා සංඛ්‍යාව සියයට 52 ක පහළ මට්ටමක පැවතුණු බව ද සඳහන් කරයි.

මේ අතර නාවික හමුදාවේ නෞකා හා යාත්‍රා 63ක් පසුගිය වසරේ අවසානය වන විට අක්‍රියව පැවතුණ බව ද විගණන වාර්තාව පෙන්වාදෙයි.

අක්වෙරළ නිරීක්ෂණ නෞකා හයක්, වේග ප්‍රහාරක නෞකා තුනක්, වෙරළ ආරක්ෂක ප්‍රහාරක යාත්‍රා 31ක්, වෙරළ නිරීක්ෂණ මුර යාත්‍රා අටක් සහ මගී ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා හතරක් ඊට ඇතුළත් බව පවසන එම වාර්තාව, නෞකා බෝට්ටු යාත්‍රා අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කෝටි 1785ක් තිබීමත් ලද ප්‍රතිපාදනවලින් 1273 ක් පමණක් යොදවා තිබීමත් මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබූ බව ප්‍රකාශ කරයි.

මේ අතර වැලිසර නාවික හමුදා රෝහලේ 2020 වර්ෂයේ සිට 2023 වර්ෂයේ ජුනි මාසය දක්වා කාල පරිච්ඡේදයේදී නේවාසික සහ බාහිර ප්‍රතිකාර ලැබූ රෝගීන් සංඛ්‍යාව වර්ධනයවී තිබිය දී, රෝහල් කාර්ය මණ්ඩලය 365 සිට 286 දක්වා අඩු වී තිබීමෙන් රෝහල් කාර්යභාරය ඉටු කිරීමේදී කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසට ලක්වී සිටි බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ නාවික හමුදාවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.