August 13, 2024

මාතලේ නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරියකගේ මුහුණ නිරුවත් ඡායාරූපයකට බද්ධකර සංස්කරණය කරන ලද ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහැරි බවට සැකකෙරෙන එම පාසලේම සිසුන් දෙදෙනෙක් මාතලේ පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගනු ලැබිණි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මාතලේ හුලංගමුව හා වාරියපොළ ප්‍රදේශයන්හි පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකි.

අදාළ ගුරුවරිය පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට වසරක සීමාවාසික පුහුණුව සඳහා මාතලේ විද්‍යාලයක නැටුම් ගුරුවරියක ලෙස සේවයට පැමිණ ඇති අතර, ඇය වේයන්ගොඩ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අදාළ ගුරුවරියගේ මුහුණු කොටස නිරුවත් ඡායාරූපයකට බද්ධකර සංස්කරණය කරන ලද ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ මුහුණු පොතට මුදාහැර ඇති බවට ගුරුවරිය විසින් මාතලේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ මාතලේ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ සැකකාර පාසල් සිසුන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් භාරයට ගෙන ඇති පාසල් සිසුන් දෙදෙනා මාතලේ පරිවාස කාර්යාලය වෙත යොමුකර පරිවාස වාර්තා සමග මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

42.31%
17.27%
32.76%