42.31%
17.27%
32.76%
September 14, 2023

වෛද්‍යවරු ඇතුළු වෘත්තිකයන් දැඩි ලෙස විරෝධය පළකරන ඉපයීම මත අය කරන බද්දට(PAYE tax) මීළග අයවැයේ දී සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මැදිහත් වන බව, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

බදු සංශෝධන ක්‍රියාවලියෙන් පීඩාවට පත් වෘත්තිකයන් නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවක දී ය.

බදු සංශෝධනවලින් අපේක්ෂිිත අරමුණු ඉටු වී තිබේද යන්න පිළිබඳව මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන් දීර්ඝ වශයෙන් අදහස් පළ කළ බවත් ප්‍රතිසංස්කරණයේ දී ගෙවන බද්දට සිදු කර ඇති සංශෝධන හේතුවෙන් බොහෝ වෘත්තිකයන් පීඩාවට පත්ව ඇති බවත් සදහන් කර තිබේ.

මෙම සාකච්ඡාවට එක්වූ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, ගෙවන බදු සංශෝධනය හරහා රජය මේ වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කවලට වඩා පහළ මට්ටමක පවතින බවයි.

බදු සංශෝධන හේතුවෙන් විපතට පත් වෘත්තිකයන්ට සහන සැලසීමට මේ වන විටත් කටයුතු සිදු කරමින් පවතින බව ද නිලධාරීන් පවසා ඇත.

එමෙන් ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ, බදු ක්‍රියාවලියට සම්බන්ධ නොවන පුද්ගලයින් එයට ඇතුළත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.

නව බදු ගෙවන කණ්ඩායම් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ඉදිරි සතියේ දී ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති ඇති බව ඔවුන් සදහන් කර ඇත.

බදු ප්‍රශ්නය නිසා වෘත්තිකයන් රට හැර යන තරමට ගැටලුව බරපතළ බව කමිටුව හදුනාගෙන ඇති බවත් මෙම ගැටළුව විසඳන ලෙස රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි ලෙස ඉල්ලා සිටින බවත් එහිදී හෙළි වී තිබේ.

කමිටු සභාපති ගාමිණී වලේබොඩ මෙහිදී පෙන්වා දී ඇත්තේ, ඒ ඒ වෘත්තීන් සඳහා බදු පැනවිය යුතු ආකාරය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කර එය පාර්ලිමේන්තුව හරහා නීත්‍යානුකූල ලියවිල්ලක් බවට පත්කිරීම වැදගත් වන බවයි.

42.31%
17.27%
32.76%