42.31%
17.27%
32.76%
September 25, 2023

බදු සහන ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තිකයන් නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක් අද (25) අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස හමුවීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර රටේ ජනතාව වෙනුවෙන් මූල්‍ය අරමුදල සමඟ නිසි එකඟතාවකට පැමිණීමට රජය අපොහොසත් වුවහොත් වෘත්තීය සමිති රැසක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ප්‍රකාශ කරයි.

GMOA ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ, යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳ IMF පළමු තක්සේරුව අවසානයේ, ඔවුන්ට නිසි විසඳුම් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආණ්ඩුව එකඟ වූ බවයි.

විද්වත් වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව හරහා IMF වෙත ලිපියක් භාර දී ඇති අතර, ඉන් අනතුරුව අද සාකච්ඡාවක් සඳහා ඔවුන්ට ආරාධනා කර ඇති බව ඔහු පැවැසීය.

ජනාධිපතිවරයා මීට මාස කිහිපයකට පෙර වෘත්තිකයන්ට පොරොන්දු වූ පරිදි මේ පිළිබඳව මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර සුදුසු තීරණයක් ගැනීමට ඔවුන් දැනුවත් කිරීම රජයේ වගකීමක් බවද වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වාදෙයි.

එසේ නොවුවහොත් මෙම මර්දනකාරී බදු ප්‍රතිපත්තියට එරෙහිව බොහෝ වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%