November 20, 2023

දේශීය අදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු මගින් අය කරගත යුතු වුවත් දැනටත් අයකර ගෙන නැති බදු ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂයකට ආසන්න බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පළමුවැනි වාර්තාවෙන් හෙළිකරයි.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ 2023 සැප්තැම්බර් 06 වැනිදාය.

සුරාබදු දෙපාර්තමේන්තුව මගින් එම කාරක සභාවට ඉදිරිපත්කර තිබෙන තොරතුරුවලට අනුව 2023 ජූනි 30 වැනිදා වනවිට ඒ දෙපාර්තමේන්තුවට අයවිය යුතු, එහෙත් ඒ වනවිටත් අය කරගෙන නැති බදු ප්‍රමාණය රුපියල් කෝටි 623කි.

එම කෝටි 623ට හිඟ බදු මුදල සහ ප්‍රමාද ගාස්තු ද ඇතුළත් වෙයි. ඒ මුදල් අය විය යුත්තේ මත්පැන් නිෂ්පාදන සමාගම් දහයකිනි. ඒ සමාගම් 10 අතර මත්පැන් නිපදවන සමූපකාර සමිතියක් ද වෙයි.

1997 සිට බදු ගෙවා නැති එක් සමාගමකින් අය වියයුතු හිඟ බදු මුදල සහ ප්‍රමාද ගාස්තුව රුපියල් කෝටි 110කි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා 2023 අගෝස්තු 03 වැනිදා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභාවට ලිඛිතව දන්වා ඇති තොරතුරුවලට අනුව 2023 ජූනි 10 වැනිදා වන විට ශ්‍රී ලංකා රේගුව මගින් අය කරගෙන නැති හිඟ බදු ප්‍රමාණය රුපියල් කෝටි 671 කි.

ඉන් රුපියල් කෝටි 17ක් පිළිබද සිද්ධියක් අවුරුදු 15කට වඩා පැරැණිය.

කෝටි 59කට සම්බන්ධ සිද්ධි 06ක් අවුරුදු 10 සිට 15ක් තරම් පැරැණිය.

තවත් රුපියල් කෝටි 167කට සම්බන්ධ සිද්ධි ගණන 15කි.

ඒවා අවුරුදු 05 සිට 10ක් තරම් පැරණිය. අයවිය යුතු තවත් රුපියල් කෝටි 427කට සම්බන්ධ සිද්ධ ගණන 37කි.

ඒ සියල්ල අවුරුද්දක සිට අවුරුදු පහක් දක්වා පැරණිය.

ඒ තොරතුරුවලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා රේගුව ඇතැමුන්ගෙන් අවුරුදු 15කට කාලයක සිට බදු අයකරගෙන නැති බවය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා 2023 ජුලි 31 වැනිදා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ලිඛිතව දන්වා ඇති පරිදි 2022 දෙසැම්බර් 31 වැනිදා වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් අයකරගත යුතු වුවත් ඒ වන විටත් අයකර නොගත් බදු මුදල රුපියල් කෝටි 90,434 කි(අනූදහස් හාරසිය තිස් හතරකි).

ඒ මුදල අතරට හිඟ බදු මුදල්, දඩ සහ පොලිය ද ඇතුළත් වෙයි.

ඒ අනුව රජයට බදු ආදායම් එකතු කර දෙන ප්‍රධාන දෙපාර්තමේන්තු තුන මගින් මේ වනවිට එකතු කරදී නැති මුළු බදු ආදයම රුපියල් කෝටි 91,720කි.

ඇතැම් පුද්ගලයන්ගෙන් සහ සමාගම්වලින් අයකර ගතයුතු බදු නිසි කලට වෙලාවට අයකර ගැනීමට නොහැකිව ඇත්තේ නඩු නිසා බවද ඉහත කී දෙපාර්තමේන්තු තුන මගින් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට ලිඛිතව දක්වා ඇති තොරතුරුවල සඳහන් වෙයි.(ලංකාදීප)