October 14, 2024

සෙවණගල සීනි සමාගමේ එතනෝල් සහ සීනි විකුණාගැනීමට නොහැකි වීම නිසා ගබඩා සහ එතනෝල් ටැංකිවල ඉඩ පහසුකම් මදිවීමේ ගැටලුවක් පැනනැඟී ඇති බවත්, ඒ හේතුවෙන් උක් ඇඹරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වියහැකි බවත් සෙවණගල සීනි අයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පැතුම් ප්‍රියංකර ‘මව්බිමට’ පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,

“මේ වන විට එතනෝල් ලීටර් ලක්ෂ 08ක් පමණ ටැංකි තුළ තිබෙනවා, එතනෝල් ටැංකි පිරිලා. සීනි මෙට්‍රික් ටොන් 3,000ක් පමණ තිබෙනවා. ඉල්ලුම්කරුවන් සීනි කිලෝවක් රුපියල් 150කට වැනි අඩු මුදලකට ඉල්ලන්නේ. මෙයට හේතු වී තිබෙන්නේ එතනෝල් ලීටරයක් සඳහා රජය මඟින් රුපියල් 6,000ක බද්දක් අයකිරීම හේතුවෙන් අරක්කු නිෂ්පාදකයන් එතනෝල් මිලදී ගැනීම අඩුකිරීම. ඔවුන් හොර පාරෙන් ගෙන්වන එතනෝල් වගේම බඩඉරිඟු වලිනුත් මේ වන විට එතනෝල් හදනවා. ඒවා මිලදී ගන්නවා. රජය එතනෝල් ලීටරයකට අයකරන රුපියල් 6,000ක බද්ද අඩුම ගාණේ රුපියල් 3,000කට වත් අඩුකළහොත් අරක්කු නිෂ්පාදකයන් එතනෝල් මිලදී ගනීවි. ඒ වගේම දේශීය නිෂ්පාදනය කරන සීනි සඳහා 18%ක බද්ද ඉවත් කළ යුතුයි. එසේ නැති නම් එය අඩු ප්‍රතිශතයක් වශයෙන් අය කළ යුතුයි.

ඒ වගේම පිටරටින් ගෙන්වන සීනි සඳහා අය කරන බද්ද වැඩි කළ යුතුයි. ඇතැම් ව්‍යාපාරිකයන් රටින් ගේන සුදු සීනි දුඹුරු කර විකිණීමේ ජාවාරමක් කරනවා. මේවාද නැවැත්විය යුතුයි. දේශීය නිෂ්පාදනවලට අයකරන බදු ඉවත් කිරීම හෝ අඩුකිරීමක් කළ යුතුයි. අරක්කු නිෂ්පාදනය කිරීම සඳහා සෙවණගල සිනි ආයතනයට බලපත්‍රයක් ලබාදුනහොත් එතනෝල් සඳහා විසඳුමක් අපට ලබාදිය හැකියි. මොනොසැක් ටැංකි පිරීම හේතුවෙන් උක් ඇඹරීමේදී ගැටලු මතුවනවා. මේ වන විට සෙවණගල සමාගමට හොඳම උක් අස්වැන්න එන කාලය. මේ කාලය තුළදී මොනොසැක් ටැංකි පිරිම හේතුවෙන් උක් ඇඹරීම අඩපණ වීම වැළැක්වීමට සඳහා අලූතෙන් ටැංකි දෙකක් ඉදිකළත් ඒවාද පිරෙමින් පවතිනවා. නිෂ්පාදනය අලෙවි කරගැනීමට නොහැකි වීම මෙයට ප්‍රධාන හේතුව. මේ සඳහා රජය මැදිහත් වී යම් ස්ථිරසාර ප්‍රතිපත්තියක් සැකසුවේ නැත්නම් මෙම කර්මාන්තශාලා පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට උද්ගත වේවි. ඉදිරියේදී උක් ඇඹරීම අවසන් කර කර්මාන්තශාලාවේ යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කළ යුතුයි. සේවක පඩි ගෙවිය යුතුයි. නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකි වුවහොත් මේ සියල්ල අඩපණ වේවි”.

42.31%
17.27%
32.76%